මියන්මාරය යළි හමුදා පාලනය යටතට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* සිවිල් නායකයෝ හමුදා භාරයේ
* වසරක හදිසි තත්ත්වයක්
උමංග බණ්ඩාර
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී එරට හමුදාව විසින් යළි අත්අඩංගුවට ගෙන මියන්මාරය යළි හමුදා පාලනයකට නතුකරගෙන තිබේ.
මියන්මාර හමුදා විසින් අවුන්සාන් සුකි සිය භාරයේ තබාගෙන සිටින අතර  මෙම තත්ත්වය මතුවුයේ වත්මන් සිවිල් පරිපාලනය හා හමුදාව අතර යළි උණුසුම් තත්ත්වයක් මතුව ඇති පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.
හමුදාව ඊයේ සවස නිවේදනය කළේ අලුතින්  මැතිවරණයක් පවත්වන බවයි.
ඉකුත් දා පැවති මැතිවරණයෙන් අවුන්සාන් සුකී නායකත්වය ධරන මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් හිමි විය. එහෙත් හමුදාව පවසන්නේ මැතිවරණය වංචනික බවයි.
ඊයේ දිනයේ සිදු කිරිමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමද කල් දමන ලෙසටද එරට හමුදාව දිගින් දිගටම අවුන්සාන් සුකීගේ පක්ෂයට ඉල්ලීම් ඉදිරිපත් කළේය.
ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක කාලයක් සඳහා මියන්මාරය තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මොවුන් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසුව මිලිටරි ටීවි මඟින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය
ඊයේ අළුයම අවුන්සාන් සුකී ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ හමුදාවේ ඉල්ලීම නොතකා පසුගිය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසුව ජාතික ලීගයට බලය හිමි පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩය පළමු වරට රැස්වීමට උත්සහ කිරීමයි.