ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ විධායක කමිටුවට මාර්තු 15 වැනිදා අභියාචානාධිකරණයේ පෙනී සිටින්නැයි ඊයේ (15) නොතීසි නිකුත් කර තිබේ.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ගොනුකළ රිට් පෙත්සමට අදාළව ය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගයට පිවිසි බව පෙත්සම්කරුවන් කියාසිටී.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි, විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු පාර්ශවකරුවන් 12 දෙනෙකු අභියාචානාධිකරණයේ ගොනුකර ඇති මෙම රිට් පෙත්සමෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ, දේශපාලන හා භාහිර බලපෑම් බරපතල ලෙස සිදුවන බවයි.
මීළඟ නිලවරණයට පෙර මෙම තත්ත්වය වලක්වා ගැනීම සඳහා නීතිමය වෙනස්කම් සිදුවිය යුතු බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පර්ශවකරුවන්ට නියෝග කරන ලෙසයි.
පෙත්සම ඊයේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේදීයි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස , තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියෙට් නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය මිල්හාන් මොහොමඩ් යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියහ.