“මෙරට කොවිඩ් මඬින්න එන්නත විතරක් මදි වැඩි වගකීම ජනතාව අතේ” – WHO

Picture of අසංක

අසංක

කොවිඩ් වෛරසයේ සීඝ්‍ර පැතිරීමට එන්නත්‌ ලබාදීමෙන්‌ පමණක්‌ විසඳුම්‌ නොලැබෙන බවත් වැඩි වගකීමක් ඇත්තේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමෙන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත වෛද්‍ය ඔලිවියා නෙවරාස්‌ අවධාරණය කරයි.

මෙරට කොවිඩ් තත්ත්වය සීග්‍රයෙන්‌ ඉහළ යාම බරපතල තත්වයක්‌ බව ද මෙරට වසංගතයේ නවතම තත්වය පිළිබඳ ඇය වීඩියෝ පණිවුඩයක්‌ නිකුත් කරමින් මේ බව කීවාය.

“ජනතාව විශාල වශයෙන්‌ ගැවසෙන ස්ථාන, අධිත තදබදයක්‌ සහිත තැන්‌,
එකිනෙකා සමීපව ගැවසෙන ස්ථාන වෙත යාමෙන්‌ වැළකිය යුතුයි.

සමාජ දුරස්ථභාවය තබාගැනීම, කසින සහ කිවිසුම්‌ හරින විට අනුගමනය කරන සෞඛ්‍ය පුරුදු, සබන්‌ යොදා දෑත්‌ සේදීම, මතුපිට පෘෂ්ඨ මත විෂබීජහරණය,
නිවැරදිව මුව ආවරණ පැළඳීම සහ අසනීපයක්‌ පවතින්නේ නම්‌ නිවසේ නතරවීම යන මේ පුරුදු අපි ශ්‍රී ලාංකිකයන්ගෙන්‌ බලාපොරොත්තු වනවා.

අප මෙන්ම පවුල්වල සාමාජිකයන්‌ සහ ආදරණීයයන්‌ ආරක්ෂා කරගැනීමට මේ
නිර්දේශිත පුරුදු අනුගමනය කළ යුතුමයි.

දෙවන ලෝක යුද්ධයෙන්‌ පසු ලෝකය මුහුණදී තිබෙන වඩාත්‌ අභියෝගාත්මක අර්බුදය මෙයයි. කිසිදු රටක්‌ ඉන්‌ ගැළවී නැහැ ශ්‍රී ලංකාවත් එහෙමයි.

මේ රෝගීන්ගේ ඉහළ යාම බරපතල ලෙස ගත යුතුයි.

මම දන්නවා අපි බොහෝ දෙනෙකුට මහන්සියි, දරාගන්න බැහැ. මොකද වසරකට වැඩි කාලයක සිට අපි කොවිඩ්‌ 19 සමඟ සටනක යෙදී සිටිනවා.
කෙසේ වුවත්‌ වඩා අභියෝගාත්මක කාලයට තවමත්‌ පැමිණ නොමැති වෙන්න පුළුවන්‌. ” යැයිද ඇය වැඩිදුරටත්‌ කියා සිටියාය.