ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ තොරතුරු සහ සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජපානය ඩොලර් මිලියන 1.4ක් පරිත්‍යාග කර ඇත.
මේ ආධාර මුදල් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හරහා මෙරටට ලබදීමට ජපානය ඊයේ (06) කටයුතු යෙදූ අතර ඊට අදාළ ගිවිසුමටද ජපාන තානාපති අකිරා සුගියාමා මහතා හා ජනගහන අරමුදලේ මෙරට නියෝජිත රිට්සු නකෙන් මහත්මිය අත්සන් තැබූහ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් බේරුණු කාන්තාවන් වෙනුවෙන් සේවාවන් වෙත ප්‍රවේශය ලබාදීම ද මෙම ආධාර හරහා ක්‍රියාත්මක වන තුන් අවුරුදු වැඩසටහනට අයත් වෙයි.
මෙම අවස්ථාව අමතමින් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා මෙසේ පැවසී ය.
“ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව සම්බන්ධ සාධනීය වෙනස්කම් ඇති කිරීමත්, කාන්තාවන් සහ ගැහැණු ළමයින් බලසතු කිරීමත්, ඔවුන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීමත් ඔස්සේ සාමය තිරසර කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිණිස ජපාන රජය යෙන් මිලියන 163ක් හෙවත් දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1.47ක මිදලක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට ලබාදීමට තීරණය කර ඇත.
G7 රාජ්‍ය එකමුතුවේ කාන්තාව, සාමෙය සහ ආරක්ෂාව සහයෝගිතා මුලපිරුම යටතේ, එම මුලපිරුමේ හවුල්කාර රට වන ශ්‍රී ලංකාවේ උත්සාහයන්ට ජපානය මෙසේ සහයෝගය දක්වයි. ”
සෞඛ්‍යය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට මෙම වැඩසටහනින් සහාය ලැබේ.
පැතුම් වික්‍රමරත්න
