ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ් වසංගතය හමුවේ රට තුළ ඊයේ(15) වනතෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කට දීර්ඝ කර තිබේ.
මෙතෙක් පැවති සෞඛ්‍ය මාර්ගෝපදේශනය ඊයේ දිනයෙන් අවසන් වූ අතර එය වෙනස් නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ඉදිරියේ දී නත්තල් උත්සවයත් අලුත් අවුරුද්දත් උදාවෙන බැවින් මෙම බූස්ටර් එන්නත ලබාගැනීම ඉතාම වැදගත් බවය.
මේ අවස්ථාවේදී සෙනග ගැවසීම සහ කඩ සාප්පුවලට යෑම හැකිතාක් අවම කරන ලෙසත් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.
“නැවත වරක් අපි ඉදිරි දින 15 ක් එහෙමත් නැත්නම් දෙසැම්බර් මාසේ අවසානය දක්වා දැනට මේ තියෙන මාර්ගෝපදේශවල ලොකු වෙනසක් කරන්නේ නැතුව දීර්ඝ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අලුතින් සීමා කිරීම් කරන්න දැනට බලාපොරොත්තුවක් නෑ.
අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. එකක් තමයි අපි දැනට අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත දෙන්න තීරණයක් අරන් තියෙනවා. ඒ නිසා තමන් ලඟම තියෙන රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පවත්වන සායන මධ්‍යස්ථානයකින් මෙම එන්නත හැකි ඉක්මණින් ලබාගන්න.
අපි මෙම බූස්ටර් එන්නත විශේෂයෙන් කර්මාන්ත ශාලා ඒ වගේම රාජ්‍ය ආයතන සඳහාත් ලබාදීම අපි ආරම්භ කරලා තියෙනවා. එම ආයතනවල සේවය කරන සියලුදෙනාගෙන් ම කාරුණික ඉල්ලීමක් කරනවා. අපි දකින දෙයක් තමයි බලාපොරොත්තු වුනාට වැඩිය අඩුයි එන්නත ගන්න එන පිරිස. නමුත් මම හිතනවා අපිට මේ අත්දකින රෝගීන් පාලනය වෙලා තියෙන්නේ එන්නත්කරණයේ ප්‍රතිඵලයක් විදියට. තවදුරටත් අපිට රට විවෘත කරගෙන අපේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නම් අපි මෙම බූස්ටර් එන්නත අනිවාර්යයෙන්ම ලබාගත යුතු වනවා.”