වී අලෙවි මණ්ඩලය හරහා යල කන්නයේ වී මිලදී ගැනීම අද (01) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මේ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 50කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 52කට ද තෙත වී සඳහා රු 44ක් ලෙස මිල නියම කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.
මේ වනවිට වෙළෙඳපොළේ සහල් මිල මේ වන විට නැවතත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රතු කැකුළු රුපියල් 110ක්, සුදු කැකුළු රුපියල් 115 ක්, නාඩු රුපියල් 125ක්, සම්බා රුපියල් 155ක්, කීරි සම්බා රුපියල් 220ක් ලෙසත් සහල් කිලෝග්‍රෑමයක සිල්ලර මිල වෙළෙඳපොළේ ඊයේ (30) වනවිට දක්නට ලැබුණි.
මෙම තත්ත්වය තුළ සහල් හිඟවීම හේතුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට තරගකාරී ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවා ඇතිබව වෙළෙඳ අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
2020/ 2021 මාස් කන්නයේ ලද සම්පූර්ණ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.12ක් වන අතර ඉන් පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉදිරි මාස 10ක කාලය සඳහා මෙරට සහල් අවශ්‍යතාව සපුරාලිය හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබුණි.
රට තුළ සහල් හිඟයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සහල් හිඟයක් පවතින බවය.