“රජයේ හරිත ප්‍රතිපත්තිය එපා කියන නිලධාරීන්ට යන්න පුළුවන්” -ජනපති

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති අතර රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බවත් එලෙස දැනුවත් නො කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළේය.

හිතට එකඟ ව, පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසීය.

මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

රජය ඉදිරියටත් කටයුතු කරනුයේ  කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බව ජනාධිපතිවරයා පවසයි.

ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු බවත් එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගත යුතු බවත්, ඒ සමග සටන් වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසා බලා තිබේ.

පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපා ඇති බවත් කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති වුවත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරිහු එහිදී පැවසූහ.