වනජීවි අපරාධයකට ඉතිහාසයේ ලොකුම දඩය නියමවෙයි

Picture of අසංක

අසංක

සිංහරාජ ලෝක උරුම රක්ෂිතය තුළ සමනලුන් සහ කෘමි සතුන් එක් රැස් කිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්ලෝවැකියානු ජාතිකයන් පස් දෙනෙකුට රත්නපුර අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන මහතා රුපියල් එක්කෝටි අටලක්ෂ හතළිස් දහසක දඩ මුදලක් අද (13) දින නියම කළේය.

මෙම දඩ මුදල වනජීවි අපරාධයකට ඉතිහාසයේ නියම කළ විශාලතම දඩ මුදලය. මෙම විදේශිකයන් විසින් එක්රැස් කළ සමනලුන් සහ කෘමි සතුන් ජාතික කෞතුකාගාරයට භාර දෙන ලෙස අධිකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

අදාල දඩමුදලට අමතරව විත්තිකරුවන්ට මාස තුනක සිර දඩුවමක් නියම කළ විනිසුරුවරයා එය වසර 10කට අත්හිටුවනු ලැබීය. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලවාන අඩවි ආරක්ෂක ලක්ෂ්මන් රත්නවීර මහතා විසින් චෝදනා 37 ක් ඇතුළත් චෝදනා පත්‍රයක් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබුණි.

විත්තිකරුවන් සන්තකයේ තිබු කැමරා ඇතුළු උපකරණ තොගයක්ද රාජසන්තක කෙරිණි. අදාල දඩ මුදල අද දින නොගවීම හේතුවෙන් විත්තිකරුවන් හෙට (14) දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරිණි.

ඉෂාර රත්නකාර