විදුලියට ඩොලර් මිලියන 150ක් ඉල්ලුවා.. තාම ප්‍රතිචාර නෑ.. – PUCSL

Picture of අසංක

අසංක

විදුලිබල ජනනය සදහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහබැංකුවෙන් හා මහභාණ්ඩාගාරයෙන් කල ඉල්ලීමට තවමත් ප්‍රතිචාර නැතැයි මහජන මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මහජනතාවගේ අයිතිවාසිකමක් අහිමිකරමින් හෙට දිනයේ සිට පැය 7.30ක විදුලි කප්පාදුවක් සදහා අවසර දීමට සිදුවු අද දිනය අඳුරු දවසක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මේ වන විට පැන නැගී ඇති ගැටළුව විදුලි අර්බුදයක් නොවන අතර මුල්‍ය අර්බුදයක් හා විදේශ විනිමය අර්බුදයක් හේතුවෙන් විදුලි සැපයුමට බාධා පැමිණීමකි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉන්ධන ආනයන සදහා අවශ්‍ය විදේශ විනිමය ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට, ජනාධිපතිවරයා විසින් ද උපදෙස් දී තිබුණද ඒ උපදෙස්වලට අනුව අදාල පාර්ශ්වයන් ක්‍රියාකර ඇති බවක් නොපෙනෙන බවද එම නිවේදනයේ දැක්වේ.

අවශ්‍ය ඉංධන නොලැබීම හේතුවෙන් ඉංධන බලාගාර අක්‍රිය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම වන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමයි. ඒ් වගේම ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු බලපත්‍රලාභින්ගේ මුල්‍ය තත්වය යහපත් තත්වයෙන් පවත්වාගැනීම තහවුරුකිරීමත් අපේ වගකීමක්. විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් රජයට උපදෙස් දීමේ වගකීමත් අපට පැවරී තිබෙනවා. ඉංධන අර්බුදය හේතුවෙන් විදුලි සැපයුමට ඇතිවන බාධා වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් උපදෙස් මාලාවක් අපි රජයට ඉදිරිපත් කර තිබුණා. එහෙත් මේ වන තුරු රජය හෝ අමාත්‍ය මණ්ඩලය විසින් එම යෝජනා සැළකිල්ලට ගත් බවක් පේන්නට නැහැ.

ඉංධන අර්බුදය හේතුවෙන් පැන නැගුණ විදුලි අර්බුදය වැරැදි මුල්‍ය ප්‍රතිපත්ති වල ප්‍රථිපලයක් බව ද කිව යුතුයි. වැරැදි මුල්‍ය ප්‍රතිපත්තිය කියල අදහස් කලේ අප සතු වු විදේශ විනිමය ඥානාන්විතව භාවිත නොකිරීම. එහිදී මුලිකත්වය ලබාදෙන්න තිබුණේ ඉංධන ඇතුළු අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සදහායි. නමුත් සිදුවුණේ ණය ගෙවීමට පැවති විදේශ විනිමය භාවිත කිරීම හා ඒ් නිසා අද වන විට අත්‍යවශ්‍ය ඉංධන ආනයනයට මුදල් අහිමිවීම.

දිනකට පැය 7ක් 8ක විදුලි කප්පාදුවක් නිසා සුළු, මධ්‍යම හා විශාල පරිමාණ කර්මාන්ත සියල්ල අක්‍රිය වෙනවා. සමස්ත ආර්ථිකයම අගාදයකට ඇද වැටෙන බව කිව යුතුයි ”

විදුලි ජනනය සදහා අවශ්‍ය ඉංධන ආනයනයට ලංකා විදුලි බල මණ්ඩලයට පහසුකම් සපයන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට දන්වා ඇතත් ඒ් සම්බන්ධයෙන් අදාල ආයතන ප්‍රතිචාර දක්වා නොමැති බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කළේය.

“ ලංකා විදුලිබල මණ්ඩලය හා පුද්ගලික අංශය සතු බලාගාර සදහා අවශ්‍ය ඉංධන ලංකා විදුලි බල මණ්ඩලයට විසින් ඝෘජුව ආනයනය කල යුතු යැයි අප නිර්දේශ කර තිබුණා. මේ බලාගාර සදහා අවශ්‍ය ඩීසල්, නැෆ්තා හා දැවිතෙල් ඉදිරි මාස දෙක සදහා මිලදී ගැනීමට වැය වෙන්නේ ඩොලර් මිලියන 150ක් පමණ. මේ මුදල සපයාදුන්නා නම් අද අපිට මුහුණ දීමට සිදුවී ඇති විදුලි කප්පාදුව සිදුවෙන්නෙ නැහැ. තවදුරටත් ප්‍රමාද නොකර ලංකා විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස දෙකක කාලය සදහා අවශ්‍ය ඉංධන සපයාගැනීමට අප කල නිර්දේශ වහා ක්‍රියාත්මක කරන ලෙස අපි අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

දිවයිනේ සියලු ප්‍රදේශවලට හෙට (2) සිට පැය 7.30ක විදුලි කප්පාදුවක් සිදුවන අතර ඉංධන සැපයුම යථා තත්වයට පත්නොකල හොත් කප්පාදුව ඉදිරියේදීත් ක්‍රියාත්මක වනු ඇත.

හෙට දිනය සදහා අනුමත කප්පාදුව සියලු ප්‍රදේශ වලට පෙරවරු 8.00 සිට පස්වරු 6 අතර කාලයේ පැය 5ක් වන අතර පස්වරු 6 සිට රාත්‍රි 11 දක්වා කාලයේදී පැය 2යි මිනිත්තු 30ක් වේ.