ශ්‍රීලනිපයට නව පාලක ලේකම්වරයෙක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීම සඳහා නව පාලක ලේකම්වරයෙකු පත්කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තිය සමිති ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සනත් වත්තේගෙදර මහතා එම තනතුරට පත්කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය අද ඔහු වෙත ප්‍රදානය කෙරුණේ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අතිනි.

තොරතුරු තාක්ෂණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන සනත් වත්තෙගෙදර මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ද අත්දැකීම් සතු අයෙකු වන අතර සමාජ සේවා, ප්‍රවාහන හා විශේෂ ව්‍යාපෘති යන අමාත්‍යංශවල මාධ්‍ය ලේකම් ධුරය ද හොබවා තිබේ.