ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ජාවක් අනිද්දා (27) පෙරවරුවේ , විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ සඳහා සහභාගිවන පොදු ජන පෙරමුණු කණ්ඩායමට නායකත්වය ලබාදෙනුයේ බැසිල් රාජපක්ෂ මහතා විසිනි. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම හා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් එම පෙරමුණ වෙනුවෙන් සාකච්ජාව සඳහා එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමට මහින්ද අමරවීර මහතාද මෙවර එක්වීමට නියමිත අතර පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වේ.
ලබන මස තුන්වැනිදාට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා අවසන් කිරීමට නියමිත බව මහින්ද අමරවීර මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණු අතර ඒ අනුව අනිද්දා පැවැත්වෙන සාකච්ජා වටය අතිශයින් තීරණාත්මක වනු ඇත.