ශ්‍රී ලංකා ධජයේ රූපය යොදා නිපදවූ චීනයේ නිෂ්පාදිත නොලිස්සන පාපිස්නා සහ පාවහන් අලෙවි කිරීමට දමා තිබූ දැන්වීම් Amazon ඔන්ලයින් වෙළඳාම් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.
ඒ මෙරට රජයේ දැනුම් දීම පරිදි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.
මෙම තොරතුර ලද වහාම, තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී, ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කරමින් පාපිසි සහ එවැනි නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
තානාපති කාර්යාලය විසින් ඇමසොන් වෙබ් අඩවිය මත මෙම නිෂ්පාදන අලෙවි කළ සමාගමෙන් ශ්‍රී ලංකාවේ ධජය භාවිත කරමින් මෙම පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන ලෙස ලිපියක් මගින් ඉල්ලා සිටින ලදී.
මේ වන විට එම දැන්වීම ඇමසොන් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසීය.
එම තානාපති කාර්යාලය මේ පිළිබඳව සමීපව අධීක්‍ෂණය කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීනයේ අදාළ බලධාරීන් හරහා සුදුසු පියවර ගන්නා බව ද බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කීය.