කාති උසාවි ක්‍රමය හේතුවෙන් මෙරට මුස්ලිම් කාන්තා ප්‍රජාව දැඩි ලෙස පීඩාවට ලක්වන බවත් , “එක රටක් එක නීතියක්” යන සංකල්පය නිසි ලෙස ක්‍රියාවට නංවා , මෙම මුස්ලිම් කාන්තාවන්ට සාධාරණත්වය හා සම අයිතිය ලබාදීමට රජය පියවර ගත යුතු බවත් ‘කාන්තා සවිය’ සංවිධානය අවධාරණය කර සිටී .
විවාහය තුල සම අයිතීන් හිමි කරගැනීමට මුස්ලිම් කාන්තාවන් කලක සිට විශාල සටනක නිරතව සිටින බවත් කාති උසාවි ක්‍රමය හරහා ඔවුන්ගේ එම අයිතීන් කප්පාදු වී ඇති බවත් මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා වෙත ලිපියක් යොමුකරමින් කාන්තා සවිය සංවිධානය සඳහන් කර ඇත .
එම සංවිධානයේ සභාපතිනී ශර්මිලා ගෝනවෙල මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් මෙසේද දැක්වේ .
“කාති උසාවි සඳහා විනිසුරුවරුන් බඳවා ගැනීමට දැන්වීම් කර ඇති අතර එහිදී වයස 40 වැඩි පිරිමි පුද්ගලයින් පමණක් බඳවා ගන්න බවද දක්වා තිබෙනවා . මෙය මුස්ලිම් කාන්තා අයිතීන් උල්ලංඝනයක්. එසේම ඔවුන්ට වෙනස් කොට සැලකීමක් . මේ රට තුල එවැනි නීති පද්ධති දෙකක් තිබෙන්නට බැහැ.
කාති උසාවි හරහා දිගින් දිගටම මුස්ලිම් කාන්තාවගේ අයිතීන් කප්පාදු කෙරෙනවා . මුස්ලිම් කාන්තාවන්ට විවාහ ලියාපදිංචියට අත්සන් තැබීමටවත් එම උසාවි ක්‍රමය හරහා ඉඩක් ලැබෙන්නේ නැහැ .විවාහ සහතිකය තුල හෝ ඔවුන්ට අයිතියක් හිමිකමක් ලැබෙන්නේ නැහැ .
එසේම එම උසාවි ක්‍රමය තුල කාන්තාවන්ට විවාහ වීමේ අවම වයසක් දක්වා නැහැ . අවුරුදු 12න් පහල දැරියක් වුවත් , කාති උසාවියේ අනුමැතිය යටතේ විවාහ වීමට මුස්ලිම් පිරිමින්ට ඉන් හැකියාව ලබාදී තිබෙනවා. මේ අසාධාරණ නීතී හේතුවෙන් එම කාන්තාවන්ට ගැටළු රැසකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා .
මේ අසාධාරණයන්ට එරෙහිව මුස්ලිම් කාන්තාවන් දිසින් දිගටම හඬ නගනවා , එම හඬට බලධාරීන් කන් දිය යුතුයි . මෙරට ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති අයිතීන් මෙරට මුස්ලිම් කාන්තාවනට භුක්ති විඳීමේ අවස්තාව ලබාදීම අතිශය වැදගත් . ඒ අනුව එම කාන්තාවන්ගේ අයිතීන් රැකගැනීමට ඔබ මැදිහත්වනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වනවා .”