දම්පත් රණසිංහ
කප්පම් ගැනීම් සහ කුලී ඝාතනවල නිරතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මහබුලගේ දිනිත් මෙලන් මාබුලගේ නොහොත් ඌරු ජුවා නමැති පුද්ගලයා ඊයේ (11) රාත්‍රියේදී පොලිස් වෙඩි පහරකින් මරුමුවට පත්විය.
මෙම අපරාධකරු නවගමුව පොලීසිය පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන කටයුතු සදහා නවගමුව වදුරාමුල්ල ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී සිදුවූ යම් සිදුවීමකදී සැකකරු වෙඩි ප්‍රහරයකට ලක්ව තුවාල ලැබූ බවත් නවගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරුමුවට පත්වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස් නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.
නවගමුවේ ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම බහුජාතික සමාගම්වලින්ද මෙම අපරාධකරු කප්පම් ගැනීම්වල නිරතව සිටි බවට බුද්ධි අංශ හෙළිකර තිබුණි.
එම කප්පම් ගැනීම්වල ඔහු නිරතව සිටියේ බන්ධනාගාරගතව සිටිමිනි.
2019 වසරේ සිට මෙම පාතාල අපරාධකරු බන්ධනාාගාරගතව සිට ඇත. බන්ධනාගාරයේ සිට ජංගම දුරකතනයක් භාවිතා කරමින් කප්පම් ගැනීම් සහ කුලී ඝාතන මෙහෙයවා ඇති බව පොලීසිය කියයි.
අධිකරණයෙන් ඇප ලැබුණත් වසර දෙකකකට වැඩි කාලයක් තිස්සේ ඔහු ඇප කොන්දේසි ඉටු නොකර බන්ධනාගාරයේම රැදී සිට ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි ඔහුව මෑතකදී බූස්ස බන්ධනාගාරයට මාරුකර තිබෙන බවත් බූස්ස බන්ධනාගාරයේ ජංගම දුරකතන භාවිතයට ඉඩ නොමැති බැවින් සහ දැඩි පාලනය මෙහේතුවෙන් එතෙක් ඇප තැබීමකින් තොරව බන්ධනාගාරයේම රැදී සිටි සැකකරු ඊයේ ඇප තබා එළියට පැමිණ ඇති බවත් සදහන්ය. එසේ බන්ධනාාගාරයෙන් පිටතට පැමිණි ඔහුට වැඩි කාලයක් නිදහසේ සිටින්නට ඉඩ ලැබී නැති බවත් නවගමුව පොලීසියේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන බවත් සදහන්ය.