දම්පත් රණසිංහ
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු බව කියන සහරාන් හාෂිම් සමග කොළඹ නගරයේ නවාතැන් ගෙන සිටි නිවාස 6ක් පිළිබඳ බිරිඳ ෆාතිමා නාදියා විසින් ආරක්ෂක අංශ වෙත හෙළිදරව් කර තිබේ.
ස්ථාන කිහිපයකින් හමුවූ කාන්තා සුදු ඇඳුම් සහරාන් විසින් ඉදිරියේදී අවශ්‍ය විය හැකි බව පවසමින් රැස් කරගත් ඒවා බවට ද ඇය පවසා ඇත.
කාන්තා සුඳු ඇඳුම් අවශ්‍ය ඇයිද යන්න පිළිබඳ තමන් නොදන්නා නමුත් කල්මුණේ පිපිරීමෙන් මියගිය සාරා නැමැති අනෙක් සැකකාරිය දැන සිටි බව ද ඇය සඳහන් කර තිබේ.
පිපිරීමට පෙර වීඩියෝපටය රූගත කරන ලද්දේ කල්මුණේ අවසන් වරට සිටි නිවසේ බවද ෆාතිමා පවසා ඇත.
සහරාන් විසින් තමන් ඇතුළු පිරිසක් වෑන් රථයක දමා සමන්තුරෙයි වෙත පසුගිය 19 වැනිදා යැවූ බව ද ඇය පාපෝච්චාරණය කර තිබේ.
ඉන්පසුව නින්දවූර් නිවසක විසූ බවත් ආරක්ෂක අංශ ආයුධ සොයා වැටලීම් කරන බව දැනගත් පසුව පසුගිය 26 වැනිදා කල්මුණේ නිවසේ නතර වූ බව ද ෆාතිමා හෙළිකර ඇත.
එහිදී කාමරයක විසූ නමුත් වෙනත් දේ මතක නැතැයි ද සහරාන්ගේ බිරිඳ ආරක්ෂක අංශ හමුවේ හෙළිදරව් කර තිබේ.