සිගරට් සඳහා නව බදු ප්‍රතිපත්තියක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බවත් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටී .

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (29) පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත .

නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් දුම්වැටි භාවිතයද අවම කිරීමට හැකිවනු ඇත. මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ. ලොව අනෙකුත් රටවල ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තීන් පිළිබඳවද අධ්‍යයනය කරමින් නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡා කෙරුණා.

මේ අතර 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමටද පියවර ගැනීමට නියමිතය

ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථාන වල දුම් පානය, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අදාළ පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති රීති ගෙන ඒමට අපේක්ෂා කෙරේ.

මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව සිදු කළ මහජන මත විමසීමේ සමීක්ෂණ වාර්තාව එම අධිකාරිය මගින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට මෙහිදී භාරදෙනු ලැබීය. මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාද යාවත්කාලීන කිරීම කෙරෙහිද සාකච්ඡා විය.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා වන පුළුල් ප්‍රචාරණයක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා අදාළ වැඩපිළිවෙල සකස් කරන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.