හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වෙන හැටි ගැන ජිනීවා අවධානයෙන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


* ජගත් මානව හිමිකම් කොමසාරිස්

පැතුම් වික්‍රමරත්න

ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය අවධාරණය කර සිටී.

ඇය පෙන්වා දෙන්නේ මේ යටතේ සිවිල් කටයුතුවලදී ද හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල් කිරිමේ හැකියාවක්  ඇති බවය ,එය මානව හිමිකම් තත්වයන් වර්ධනය කිරීමට ඉවහල් නොවනු ඇති බවද ඇය  සඳහන් කර සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මේ බව ප්‍රකාශ කළාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඊයේ (13) ජිනීවා නුවරදී ආරම්භ වූ අතර එහිදී මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් පිළිබද වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය.

එහිදී ඇය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ සාමකාමී විරෝධතා හා සැමරුම් සිදුකරන පුද්ගලයින් රාජ්‍ය බලය යොදවා අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ බලහත්කාරයෙන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බවය.

ඊට අමතරව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබඳව නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම පිළිබදවද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය මෙහිදී සිය වාචික වාර්තාව මගින් අවධානය යොමුකර තිබුණි.