හමුදාපතිට විරෝධය දැක්වූ විදෙස් බිල්ලන්ට රජයෙන් අතුල් පාරක්

Picture of අසංක

අසංක

නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් වන අතර රටේ පරිපාලනමය ක්‍රියාවලියට බලපෑම් කිරීමට විදේශ පාර්ශ්ව දරන උත්සහය පිළි නොගන්නා බව රජය පවසයි.

මෙම පත්කිරීම විශේෂ තත්ත්වයක් ලෙස සළකා ඊට විරෝධය පළකිරීමට ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය, අමෙරිකාව, කැනඩාව ඇතුළු පාර්ශ්ව ගණනාවක් කටයුතු කිරීම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.

එහි වැඩිදුරටත් පහත කරුණු දක්වා තිබිණ.

විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.

චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.