හිටපු ජනපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන්කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කර සිටී .

එම වාර්තාව හැකි ඉක්මනින් ක්‍රියාවට නංවන ලෙස කාදිනල් හිමිපාණන් එහිදී  අවධාරණය කර සිටියේය .

පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වුනු අතර එය අවසානයේ  කාදිනල් හිමිපාණන් මාධ්‍ය වෙත මෙම  අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසීය ,

“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.”