හොරෙන් රට පනින්න හැදූ 30ක් නාවික හමුදාවට කොටුවෙයි

Picture of අසංක

අසංක

හලාවත, සමිදුගම ප්‍රදේශයේ ඊයේ (13) සහ අද (14) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (13) වන දින හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම්ව සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු, ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් නිවසක හිමිකරුවකුද සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

පසුව අද (14) දින නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හලාවත පොලීසියේද සහය ඇතිව සිදු කළ වැඩිදුර සෝදිසි මෙහෙයුම් මඟින් මෙම ජාවරමට සම්බන්ධ තවත් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ගත් පුද්ගලයින් 30 දෙනා යාපනය, මඩකළපුව, මුලතිව් සහ පුත්තලම ප්‍රදේශයන්හි පදිංචි පිරිමි පුද්ගලයින් බවට හදුනා ගන්නා ලදී.

එම පුද්ගලයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.