ෆයිසර් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් , එන්නත් දෙකත් මෙරට ලියාපදිංචියට සැලසුම් .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල යටතේ විවිධ එන්නත් ගෙනවිම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය

රජයක් ලෙස එම එන්නත්කරණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදුකෙරෙමින් පවතින අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ලබා ගැනීම වෙනුවෙන්ද අවධානය යොමුකර තිබෙන බවත් එය ඇනවුම් කිරීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන ලදී.

ස්පුට්නික් V එන්නත වැඩිහිටියන් සහ නිධන්ගත රෝග ඇති අයට අනුමත නොවුණද වයස අවුරුදු 30ට වැඩි අය සඳහා එය භාවිතා කළ හැකි බව ඇය කියා සිටියේය .

එමෙන්ම සීරම් ආයතනයෙන් ඇනවුම් කර තිබෙන එන්නත් ලැබීමට නියමිත අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේද තවත් එන්නත් ලැබීමට නියමිතව තිබේ.

ෆයිසර් එන්නත හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා ගැනීම සඳහා ඒවා මෙරට ලියාපදිංචියට අදාළ තොරතුරු දන්වන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් තොරතුරු ඉල්ලා තිබෙන බවද අමාත්‍යවරිය කියා සිටියාය.