කාන්තාවන් දුරකථන මගින් වංචනික ලෙස බියගැන්වූ (blackmail) පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිරගත කර තිබේ.
118 දුරකථන අංකයට පැමිණි ඇමතුම්වලින් කාන්තාවන් බ්ලැක්මේල් කළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මින් ඉදිරියට කිසිදු කාන්තාවක් බියනොවී මෙලෙස තමා වංචනික ලෙස බියගන්වා මුදල් හෝ වෙනයම් දෙයක් ලබාගැනීමට උත්සහ කරන පුද්ගලයන් පිළිබඳව විස්තර ලබාදෙන ලෙසත් ඔවුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය යාත්මික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා දකුණු පළාතේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ නිල උත්සවයේ දී පැවසීය.
එසේම ලංකාව තුළ අපරාධ රැල්ල වැඩි වීමට ප්‍රධාන කරුණු තුනක් බලපාන බව ඒ මහතා පැවසීය.
විනය, හික්මීම, රට ගැන හැඟීමක් නොමැති වීම මේ සඳහා බලපාන බව හෙතෙම සඳහන් කළේය. ජපානය වැනි රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව කඩිනමින් නැගී සිටීමට හැකියාව ලැබුනේ ජපන් ජනතාව තුළ රට ගැන හැඟීමක් තිබුණ නිසා බව පැවසීය.
එසේම විනයක් හික්මීමක් ඇතිකිරීම සඳහා රටේ සෑම තරුණ තරුණයෙකුටම හමුදා කඳවුරු තුළ යම් පුහුණුවීමක් ලබා දීමට යෝජනා කළේ ඒ නිසා බව ද ඒ මහතා සඳහන් කළේය.
එය හමුදා පුහුණුවක් ලෙස ඇතැමුන් වැරදි ලෙස තේරුම් ගෙන ඇති බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති නිපුන රණවක ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද සහභාගී විය.