පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරිම අද

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව අද (11) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා ප‍්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදුවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාර දීමටත් පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමත් මෙම සම්මේලනයේ මූලික අරමුණු දෙක බවයි.

මෙම ජාතික මහා සමුළුව ප‍්‍රදේශ කිහිපයකදී පුළුල් තිර මගින් සජීව ලෙස ප‍්‍රචාරය කිරීමට ද කටයුතු කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට සමුළුවට සහභාගී වීම සඳහා ඉඩකඩ ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් එවැනි පියවරක් ගන්නා බවයි දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ. 

අද පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කංචන විජේසේකර ද අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ රටේ මීළඟ ජනාධිපතිවරයා පත්කර ගැනීමේ කාර්යභාර්ය මේ අයුරින් ආරම්භ වන බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගනයේදී අද (11) ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 03.00 ටයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ඊයේ (10) පස්වරුවේ ද සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගනයට පැමිණ එහි සංවිධාන කටයුතු පිළිබඳ විමසා බැලුවා.