නවතම පුවත්

රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ උඩුකය පිළිරුවක් ශ්‍රී පාලි මණ්ඩපයේ දී නිරාවරණය කෙරේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නොබෙල් ත්‍යාගලාභී ගුරුදේව් රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ශ්‍රී ලංකා සංචාරයේ 100 වන සංවත්සරය නිමිත්තෙන්, කොළඹ විශ්ව විද්‍යාලය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා එක්ව රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ උඩුකය පිළිරුවක් ශ්‍රී පාලි මණ්ඩපයේ දී නිරාවරණය කිරීමේ උත්සවයක් 2022 පෙබරවාරි 3 වන දින සංවිධානය කර තිබිණ. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ ගෞරවනීය අමුත්තන් ලෙස ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ මැතිතුමා සහ ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා පිළිරුව නිරාවරණය කර එයට මල්මාලා පැළඳූහ. කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජයරත්න මහත්මිය, විශ්ව විද්‍යාලයේ සම්භාවනීය නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. තාගෝර්තුමාගේ මෙම තඹ පිළිරුව ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලය (ICCR) විසින් තිළිණ කරන ලදී.

. මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා තෙවරක්ම එනම් 1922, 1928 සහ 1934 යන වර්ෂවල ශ්‍රී ලංකාවට පැමිණි ගුරුදේව් රවීන්ද්‍රනාත් තාගෝර් මැතිතුමාගේ හදවත තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වූ බව සඳහන් කළේය. තාගෝර්තුමා විසින් “ශ්‍රී පාලි” මණ්ඩපයට මුල්ගල තබන ලද්දේ සිය තෙවන ශ්‍රී ලංකා සංචාරයේදී ය. මෙම සංචාරය සඳහා තාගෝර්තුමාට ආරාධනා කරන ලද්දේ තම ඥාතිවරයකු සහ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු සහ සමාජ ප්‍රතිසංස්කාරකයකු වූ විල්මට් ඒ. පෙරේරා මහතා බව එතුමා සිහිපත් කළේය. විල්මට් ඒ. පෙරේරා මහතා බටහිර බෙංගාලයේ ශාන්ති නිකේතනයේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලය වෙත ගිය අවස්ථාවකදී ගුරුදේව්තුමාගේ වැඩ කටයුතු සහ අදහස් සම්බන්ධයෙන් සහ එම විශ්ව විදයාලයේ අගයන් සහ වටිනාකම් සම්බන්ධයෙන් ඉමහත් පැහැදීමට පත් වී එවන් ආයතනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අදිටන් කර ගත්තේය. එතුමාගේ ආරාධනය මත ගුරුදේව්තුමා ශ්‍රී ලංකාවට පැමිණි අතර 1934 මැයි 20 වන දින මෙම නව ආයතනය සඳහා මුල්ගල තබන ලදී. එය “ශ්‍රී පාලි” ලෙස නම් කරන ලෙස එතුමා යෝජනා කළේය.

. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා තාගෝර්තුමා විසින් ශ්‍රී ලංකාවට දක්වන ලද ආදරය සිහිපත් කළ අතර එය තමන්ට නොයෙක් ආකාරයෙන් සුබවාදී බලපෑමක් ඇති කළ බව සඳහන් කළේය. 1934 වර්ෂයේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී තාගෝර්තුමා විසින් සිදු කළ දේශනයක අදහස් ද එතුමා මෙහිදී සිහිපත් කරමින් “ඉන්දියාවේ ආත්මය වරක් ශ්‍රී ලංකාවට පැමිණියේය… කවියකු වශයෙන් කලාවේ සෘජු භාෂාවක් හරහා මාගේ ප්‍රයත්නයන්ගෙන් එම ඉපැරණි බැඳීම යළි ප්‍රතිස්ථාපනය කිරීම මාගේ අභිප්‍රායයි” යනුවෙන් තාගෝර්තුමා ප්‍රකාශ කළ බව සඳහන් කළේය. තාගොර්තුමාගේ උරුමයට ගරු කරමින් එතුමාගේ උඩුකය පිළිරුව භාරගෙන එය එතුමා විසින්ම මුල්ගල තබන ලද ආයතනයේ තැන්පත් කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්තුමා කොළඹ විශ්ව විද්‍යාලයට සිය ප්‍රශංසාව පළ කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජයරත්න මහත්මිය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ද නිවුන් සහෝදරයන් බඳු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප සංස්කෘතික සබඳතා අවධාරණය කළ අතර විශ්ව විද්‍යාලයට ලබාදෙන සහය සම්බන්ධයෙන් සහ ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදෙන ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් ඉන්දියානු රජයට සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට කෘතවේදීත්වය පළ කළහ.

. උත්සවය අතරතුරදී, දෙරට අතර පවතින ශක්තිමත් සහ ගැඹුරු බැඳීම් පිළිඹිබු කරමින් කොළම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ සංගීතය, හින්දි සංගීතය සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තෝරාගත් නර්තන සම්ප්‍රදායන්ගෙන් සමන්විත විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් ඉදිරිපත් කළහ. මෙම ප්‍රසංගය ඉහළින් අගය කෙරුණු අතර සමාජ මාධ්‍ය හරහා විකාශය කෙරිණ.

රවීන්ද්‍රනාත් තාගෝර්තුමා විසින් 1921 වර්ෂයේදී ඉගෙනුම් සහ කලා මධ්‍යස්ථානයක් ලෙස විශ්ව භාරතී විශ්ව විද්‍යාලය ආරම්භ කරන ලදී. සිංහල බැලේ නර්තන කලාවේ පුරෝගාමී ප්‍රේමකුමාර එපිටවල මහතා සහ දේශමාන්‍ය චිත්‍රසේන ශූරිහු 1940 දශකයේ මුල භාගයේදී ශාන්ති නිකේතනයේ ශිල්ප හැදෑරූහ. එසේම, එඩ්වින් සමරදිවාකර, සූර්ය ශංකර් මොල්ලිගොඩ, ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ලයනල් එදිරිසිංහ සහ ඩබ්. බී. මකුළුලොළුව සහ චිත්‍ර ශිල්පීන් වන සෝමබන්දු සහ ආනන්ද සමරකෝන් (සංගීතඥයකු ද වේ) වැනි අය ශාන්ති නිකේතනයේ ශිල්ප හදාරා ඇත. වර්තමානයේ දී පවා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රසක කලා ශිල්පීන් සහ ශාස්ත්‍රඥයන් රැසක් ගුරුදේව්තුමාගේ අභාෂය ලබා ඇත. තාගෝර්තුමාගේ ගීතාංජලී කෘතිය කිහිපවරක්ම සිංහලට පරිවර්තනය වී ඇත. මෙමගින් පිළිඹිබු කරන්නේ තාගෝර්තුමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව දක්වන ඉමහත් ගෞරවයයි. මෙම බැඳීම යළි අලුත් කරමින් තාගෝර්තුමාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් 100 වන වසර සැමරීම සඳහා විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇත. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ඉහළම අධ්‍යයන වාර්තාව හිමි ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව වෙනුවෙන් රන් පදක්කමක් ද ගුරුදෙව් රවීන්ද්‍රනාත් තාගෝර්තුමා නමින් මෑතකදී හඳුන්වා දෙන ලදී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි