BREAKING NEWSEXPRESS RESEARCHවිශේෂාංග


Share now!

විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවන වැටුප් මුදල් , එසේත් නැතිනම් ප්‍රේෂණ ප්‍රමාණය අඩුවෙමින් පැවතීම පිළිබඳව රට තුල මේ වනවිට විශාල කතාබහක් මතුව ඇත . විශේෂයෙන්ම මෙම ශ්‍රමිකයින් පිළිගත් හා නිල බැංකු පද්ධති හරහා මෙරටට මුදල් එවීමට මැලිකමක් දැක්වීම ගැනද මහබැංකුවේ පවා දැඩි අවධානය යොමුව ඇත රටේ ඩොලර් හිඟයටද මෙම තත්වය ඍජුවම බලපෑ ඇති බවට විවිධ ආර්ථික විශේෂඥයින් පවසනු අප අසා ඇත .

ඇත්තෙන්ම මෙම ප්‍රේෂණ හා රටක ආර්ථික වර්ධනය අතර සබඳතාවය කෙබඳුද ? විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ , රටේ ආර්ථිකයට සිදුකරන බලපෑම කොතරම්ද ? ප්‍රේෂණයන්ට අදාලව දකුණු ආසියානු කලාපය තුලද ජාත්‍යන්තර වශයෙන්ද පවතින ප්‍රවනතාවයන් මොනවාද ? අප විමසා බලමු …

ලොව පුරා බිලියනයකට අධික පිරිසක් මේ වනවිටත් වාර්ෂිකව , විදෙස් ප්‍රේෂණ යැවීම හෝ ලබා ගැනීම සිදුකරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සඳහන් කරයි.

ඒ අනුව සෑම වසරකම, සංක්‍රමණික කම්කරුවන් මිලියන 200කට ආසන්න පිරිසක් ,තම මාසික වේතනයන් නැවත තම නිවෙස් වෙත යවන අතර මිලියන 800ක පිරිසක් එසේ එවන ප්‍රේෂණ ප්‍රවාහයෙන් ප්‍රතිලාභ ලබයි.

COVID සමයේ ඇතිවූ බාධා කිරීම් පවා නොතකා, මෙම ප්‍රේෂණයන් වර්ධනය වී ඇති බවද ජාත්‍යන්තර අරමුදල පෙන්වාදේ.

ලෝක බැංකු දත්ත පෙන්වා දෙන පරිදි 2021 වසරේදී අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට, ප්‍රේෂණ ඇ.ඩො. බිලියන 605කට ළඟා වී ඇත. එය වසරක් තුළ 8%කට වඩා වැඩි වර්ධනයකි. සංක්‍රමණික ශ්‍රමිකයින් , මසකට හෝ මාස දෙකකට වරක් සාමාන්‍යයෙන් US$ 200 සිට US$300 දක්වා නිවසට එවයි.

මෙය ඔවුන් උපයන වැටුපෙන් 15% ක පමණ ප්‍රමාණයක් පමණක් වුවද එය , අදාළ නිවෙස්වල මුළු ආදායමෙන් 60% කට අධිකය . පවුල් මිලියන ගණනක ජීවනාලිය බවට මෙම ප්‍රේෂණ මුදල් පත්වී ඇත්තේ එලෙසය .

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල තවදුරටත් පවසන්නේ මෙම විදෙස් ප්‍රේෂණ වලින් 50% කට වඩා යවනු ලබන්නේ ලෝකයේ දුප්පතුන්ගෙන් 75% ක් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශ වෙතට බවයි. එසේම මෙම ප්‍රේෂණවලින් 75% ක් පමණ ආහාර , වෛද්‍ය වියදම්, පාසල් ගාස්තු හෝ නිවාස වියදම් පියවා ගැනීමට යොදා ගනී. ඉතිරි 25% , වත්කම් ගොඩ නැගීම හෝ ආදායම් සහ රැකියා උත්පාදනය කරන ක්‍රියාකාරකම් සඳහා ඉතිරි කිරීමට මෙන්ම ආයෝජනය කිරීමට යොදවා ගත හැකි බව ජාත්‍යන්තර අරමුදල තම වාර්තාවෙන් පෙන්වාදේ .

ඒ අනුව ප්‍රේෂණ වලින් සියයට 25 ක කොටසක් ආයෝජන සඳහා වෙන්කිරීම් හරහා නව ආයෝජන සංස්කෘතියක් ගොඩනැගීම සඳහාද හොඳ පදනමක් වැටේ , කෙසේ වෙතත් මෙම ප්‍රේෂණ මුදල් , සංවර්ධනය සඳහාවූ ආයෝජනය සඳහා යෙදවිම අතිශය වැදගත්ය .

2017 වසරේදී ඉන්දියාව, ඇමෙරිකානු ඩොලර් බිලියන 69.0ක් , ප්‍රේෂණ ලෙස ලබාගනිමින් , ලෝකයේ ඉහළම ප්‍රේෂණ ලබන රට බවට පත්විය . බංගලිදේශය, පකිස්ථානය, නේපාලය සහ ශ්‍රී ලංකාවට පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 13.5ක්, ඇමෙරිකානු ඩොලර් බිලියන 19.7ක්, ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1ක් ලෙස ප්‍රේෂණ ලබාගත්තේය .

ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව, පුළුල් වන වෙළඳ හිඟයට එරෙහිව සැලකිය යුතු සහනයක්ද සලසමින් මෙරට විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන කුළුණක් වී පැවතියේ විදෙස් සේවක ප්‍රේෂණයි. තවමත් එය එසේමය .

පසුගිය දශක දෙක තුළ කම්කරුවන්ගේ ප්‍රේෂණ මුදල් , වාර්ෂික වෙළඳ හිඟයෙන් 80% ක් පමණ ආවරණය කර ඇත.ඒ අනුව එම ප්‍රේෂණ මුදල් , රටේ දරිද්‍රතාවය තුරන් අවම කිරීමට සහ පවුලේ ආදායමේ විෂමතා අඩු කිරීමට උපකාරී වී ඇත.

විදෙස් සංක්‍රමණයන් වර්ධනය වීම

ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් අකර්මණ්‍ය තත්ත්වය හේතුවෙන් (පසුගිය රජයන්හි අයහපත් පරිපාලන ප්‍රතිපත්ති හේතුවෙන්,හා කොවිඩ් වසංගතය ආශ්‍රිත අගුලු දැමීම් සහ සීමා කිරීම් හේතුවෙන් ) ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු මේ වනවිට රට හැර යාමට උත්සාහ කරමින් සිටී .

පෙර පරිදිම , තවමත් ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් සාමාන්‍යයෙන් අයත්වන්නේ ගෘහස්ත හෝ පුහුණු සහ නුපුහුණු කාණ්ඩවලටය . එසේම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ප්‍රියතම ගමනාන්ත ලෙස තවමත් ඇත්තේ සෞදි අරාබිය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයයි . පසුගිය දා ශ්‍රී ලංකා රජය , සිය සේවකයන්ට විදේශ රැකියාවලට යොමුවීමට පහසුකම් සැපයු අතර , එසේ විදේශයන්හි රැකියාවල නිරතවී , ආපසු මෙරටට පැමිනි විට ඔවුන්ට නැවත සිය තනතුරුවලටම පැමිණීමටත් අවසර ලබා දුන්නේය.

රජයේ මෙම දිරිගැන්වීම්ද මධ්‍යයේ , මෙම වසරේ ජූලි මස අවසානය දක්වා ශ්‍රී ලාංකිකයින් 174,584 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇත. රටට ඩොලර් දැඩි ලෙස අවශ්‍ය බැවින් වසර අවසාන වන විට සමස්තයක් ලෙස 300,000කට අධික පිරිසක් විදෙස් රැකියා වෙත යොමුකිරීම රජයේ ඉලක්කය වී ඇත .

කෙසේ වෙතත් රටේ අභ්‍යන්තර ප්‍රේෂණ දිනෙන් දින පහත වැටෙමින් පැවතීම ගැටලුවකි . විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පෙන්වාදෙන පරිදි , 2022 වසරේ මුල් භාගයේදී අභ්‍යන්තර ප්‍රේෂණ 51.6% කින් පහත වැටී ඇත. එහි අගය මේ වනවිට ඩොලර් බිලියන 1.6 කි , මෙරට විනිමය අනුපාතයන් ආකර්ෂණීය නොවන මට්ටමක පැවතීම හේතුවෙන් , බොහෝ විදෙස් ශ්‍රමිකයින් නිල නොවන නාලිකා භාවිතා කරමින් ප්‍රේෂණ මෙරටට එවීම මෙම තත්වයට ප්‍රධාන හේතුවකි .

මේ තත්වය මත , නිල බැංකු පද්ධතිය භාවිතා කිරීමට විදෙස් ශ්‍රමිකයින් දිරිගැන්වීම සඳහා රජය වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇත .

වාසි සහ අවාසි .

මෙම ප්‍රේෂණ හරහා අදාළ විදෙස් ශ්‍රමිකයින්ගේ නිවෙස්වල සනීපාරක්ෂක තත්ත්වයන් වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම, හා වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමේ හැකියාව ඇත . එසේම වඩා උසස් අධ්‍යාපන ප්‍රවේශයක් සඳහා පහසුකම් සැලසිමද සිදුකල හැක .

ණය සීමාවන් වැඩි කිරීම මෙන්ම ව්‍යාපාර ආයෝජනවලට පහසුකම් සැලසීමත් , , මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීමටත් මේ හරහා සිදුකල හැක .

කෙසේ වෙතත් මෙම ප්‍රේෂණ හරහා අත්විය හැකි අවාසි සහගත තත්වයන්ද නැතුවා නොවේ . ඒ ගැන සුවිශේශී අනතුරු ඇඟවීමක් ඇමෙරිකාවේ සෙන්ට් දියාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Catalina Amuedo-Dorantes මහත්මිය සිදුකර ඇත ,

ප්‍රේෂණ මගින් ආර්ථික වර්ධනයට බාධා කරන යැපුම් සංස්කෘතියක් නිර්මාණය කළ හැකි බව ඇගේ අදහසයි .. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ , යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ තරුණ තරුණියන්යගෙන් වැඩි ප්‍රතිශතයක්, රැකියාවලට හෝ ව්‍යාපාරවලට යොමුනොවී , නිකරුනේ කාලය ගත කරන අතර ඊට හේතුව ඔවුන්ගේ දෙමාපියන් විදේශයන්හි සිට මුදල් එවන නිසා බව අනාවරණය වී ඇත . ස්වෝත්සාහයෙන් යම් ආදායමක් උපයාගන්නවා වෙනුවට දෙමාපියන් එවන විදෙස් ප්‍රේෂණ භාවිතා කරමින් පහසු දිවි පෙවෙතකට ඔවුන් හුරුවී ඇත . මේ තත්වය නිසා මෙම තරුණ තරුණියන්ගෙන් , ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට කිසිදු දායකත්වයක් නොලැබේ .

එසේම ප්‍රේෂණ හේතුවෙන් , භාණ්ඩ මිල ඉහළ යාම, අපනයන පහත වැටීම, වැනි අහිතකර ප්‍රතිඵලද අත්විය හැකි බව මහාචාර්යවරිය පෙන්වාදේ . එපමණක් නොව මෙසේ විශාල ලෙස ප්‍රේෂණ ගලා ඒම තුලින් , එම රටට ලෝක වෙලඳපොල තුල තරඟ කිරීමට ඇති හැකියාවද හීන වන බව ඇය පෙන්වාදේ .

එසේම මෙම මහ්චාර්යවරිය තවත් සිත්ගන්නා සුළු අදහසක්ද මෙහිදී මතුකරයි , එනම් මෙම , ප්‍රේෂණ මුදල් , භාවිතාවන්නේ පරිභෝජනය සඳහාද නැතහොත් ආයෝජනය සඳහාද යන්න තීරණය වන්නේ එම ප්‍රේෂණ ලැබීමේ ඇති විධිමත්භාවය හා ක්‍රමවත් භාවය මතය යන්නය .

ඒ අනුව , ප්‍රේෂණ නිතිපතා විධිමත්ව ලැබෙන්නේ නම් ඒවා බොහෝවිට පරිභෝජනය සඳහා භාවිතාවන අතර අක්‍රමවත් හෝ කඩින් කඩ ලැබෙන ප්‍රේෂණ , බොහෝවිට ආයෝජන අරමුනු සඳහා වෙන්කෙරේ .

ඇගේම වචනයෙන් ඒ ගැන තව දුරටත් පැහැදිලිකළහොත් එය මෙසේය ,

“විධිමත් පදනමක් මත එනම් මාසිකව , නිශ්චිත පරිදි ප්‍රේෂණ ලබන නිවාසවලට ඒවා , එදිනෙදා වියදම් සහ පරිභෝජන අවශ්‍යතා සඳහා යොදාගැනීමේ අවස්තාව ලැබෙනවා . නමුත් අනපේක්ෂිත පදනමක් මත ප්‍රේෂණ ලබන නිවාස , එනම් ප්‍රේෂණ ගලා ඒම මාසිකව , ස්ථීරලෙස සිදු නොවන නිවාසවල , පරිභෝජනය සඳහා එම ප්‍රේෂණ යොදාගැනීම අවමයි . ඔවුන් බොහෝදුරට එම මුදල් යෝජනා හෝ ඉතිරිකිරීම් සඳහා යොදාගන්න පෙළඹෙනවා “

ආර්ථික වර්ධනයට විදෙස් ප්‍රේෂණ වල බලපෑම ගැන අධ්‍යනයක නිරත බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් සරසවියේ ‘ සෝමා රාණි සූත්‍රධාර් මහත්මිය, ඉන්දියාව , බංගලිදේශය ,පකිස්තානය , ශ්‍රී ලංකා හා ඉන්දියාව යොදාගෙන ඒ පිළබඳව විශේෂ අධ්‍යනයක නිරතව ඇත .එම අධ්‍යයනය ඇසුරෙන් නිකුත්කළ වාර්තාවේ මෙසේ දැක්වේ .

“ප්‍රේෂණ වල 1% ක වැඩිවීමක් සිදුවුවිට , පිලිවෙලින් බංගලිදේශය , පකිස්තානය , හා ශ්‍රී ලංකාව යන රටවල ඒකපුද්ගල දල දේශීය නිෂ්පාදනයේ පිලිවෙලින් 0.05% , 0.021% හා 0.004% ක අඩුවීමක් දක්නට ලැබේ . නමුත් ඉන්දියාවේ පමණක් මෙම තත්වය වෙනස් වෙනවා . ඉන්දියාවේ ප්‍රේෂණ 1% කින් වැඩි වූ විට දල දේශීය නිෂ්පාදනයද 0.017% කින් ඉහල ගොස් තිබෙනවා .”

දත්ත පිළිබඳව පැහැදිලිකරමින් එම සූත්‍රධාර් මහත්මිය මෙසේ සිය වාර්තාවේ සඳහන් කර ඇත .

“ශ්‍රී ලංකාව , පකිස්තානය හා බන්ගලිදේශය යන රටවල් ලැබූ “සෘණාත්මක ප්‍රතිඵලයට හේතුවී ඇත්තේ එම රටවලට ලැබෙන ප්‍රේෂණ වලින් වැඩි කොටසක් එදිනෙදා පරිභෝජනය වැනි ඵලදායි නොවන අරමුණු සඳහා භාවිතාකිරීමයි . මෙහිදී ලාභ ලබාගැනීමේ කිසිදු අරමුණකින් තොරව මෙම මුදල් වියදම් කර තිබෙනවා . නමුත්ඉන්දියාවේ තත්වය වෙනස් . ඔවුන් තම ප්‍රේෂණ , නිෂ්පාදන අරමුණු සඳහා යොදා ගෙන තිබෙනවා . වෙනස සිදුව ඇත්තේ එතනයි . “

සූත්‍රධාර් මෙහිදී තවත් ප්‍රශ්නයක් මතු කරයි , ඒ ගැන ඇගේ අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ මෙසේය .

” විදෙස් රැකියා වෙත දැඩි අවධානයක් සහිත රටවලට අත්වන තවත් ඍනාත්මක ඉරණමක් වන්නේ ‘බුද්ධි ගලනයයි ” එම රටවල පුහුණු සහ උගත් ශ්‍රමිකයන් විශාල වශයෙන් විදෙස් රැකියා වෙත යොමුවීම එරට ආර්ථික වර්ධනයට පවා අහිතකර ලෙස බලපායි . ඒ අනුව විදෙස් ශ්‍රමිකයින් ලෙස සිදුවන සංක්‍රමණ අඩු රටවල හා සසඳන විට තම විදේශ විනිමය අවශ්‍යතා සඳහා සංක්‍රමණයන් මත යැපෙන , නැතහොත් විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මතම යැපෙන රටවල්වල ආර්ථික වර්ධනයේ යම් අඩුපාඩු දක්නට ඇත”

ඒ අනුව සූත්‍රධාර් තම වාර්තාව අවසානයේ මෙවැනි යෝජනාවක් හා අදහසක් ඉදිරපත් කර ඇත .

“සෑම රටක්ම සංක්‍රමණයන් සහ ප්‍රේෂණ මත පමණක් යැපීම වෙනුවට දේශීය හා විදේශීය ව්‍යවසායකයින් සඳහා අවස්ථා තම රට තුලම ජනනය කිරීමට පියවර ගැනීම වැදගත්ය , රට තුල රැකියා අවස්ථා පුළුල් කල යුතුය . වීදේශීය මෙන්ම දේශීය ආයෝජන සඳහා පුළුල්අවස්ථා නිර්මාණය කළ යුතුය. එසේම රටට ලැබෙන ප්‍රේෂණ ප්‍රවාහයෙන් වැඩි කොටසක් ඵලදායී අරමුණු සඳහා ආයෝජනය කිරීමට ජනතාව උනන්දු කල යුතුය , ප්‍රේෂණයන් මෙරටට එවන විදෙස් ශ්‍රමිකයින් මෙන්ම ඒවායෙන් ප්‍රතිලාභ ලබන මෙරට පිරිස්ද ඒ සම්භන්ධව නිසි ලෙස දැනුවත් කල යුතුය . විදෙස් ශ්‍රමිකයින් එවන මුදල් , එදිනෙදා පරිභෝජනයට පමණක් භාවිතා කිරීම හරහා ඒවායේ නිසි ඵල ප්‍රයෝජනය ගැනීම අසීරුවේ.

(newsin.asia වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරෙනි .)