විශේෂාංගසේයාරූ


Share now!

පශ්චාත් උපාධි පාඨමාලාවකට අයදුම් කළ නුවන් ඒ සඳහාවූ සම්මුඛ පරික්ෂණයට පැමිණියේය. මම එහි පරික්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු වූයෙමි. එහිදී අයදුම්කරුවන්ගේ අධ්‍යාපන හා වෘත්තිය පසුබිම පිළිබඳ ප්‍රශ්න ඇසීම සාමාන්‍ය සිරිත වූයේය.

මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. ‘මේ වනවිට ඔබ මොනවද කරන්නෙ? ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. ‘මම සංවර්ධන නිලධාරියෙක්’ ‘ඔබ සංවර්ධන නිලධාරියකු ලෙස වැඩ කරන්නේ කොහේද?’ මම නැවත ඔහුගෙන් ඇසුවෙමි. තම සේවාස්ථානය ලෙස බස්නාහිර පළාතේ පිහිටි එක්තරා රජයේ පාසලක් ඔහු නම් කළේය.

ඔහුගේ පිළිතුරෙන් මගේ කුතුහලය ඇවිස්සිණි. ‘ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් වෙනත් රාජ්‍ය ආයතනවලත් රට පුරා සංවර්ධන නිලධාරීන් ඉන්නා බව මම දන්නවා. එහෙත් ඒ තත්ත්වය රජයේ පාසල්වලත් තිබෙන බව මම දැනසිටියෙ නෑ. ඒ අලුත් වැඩපිළිවෙළක්ද?’

‘නෑ සර්’, ඔහු පිළිතුරු දුන්නේය. ‘මට ඒ රස්සාව ලැබුණෙ අවුරුදු දෙකකට කලින් ආණ්ඩුවෙන් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා 50,000 ක් දුන්නු අවස්ථාවෙ. 18000 ක් විතර අනුයුක්ත කළේ පාසල් වලටයි’.

මම නැවත ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. ‘එහෙනං ඔබේ පාසලේ සංවර්ධනයට වග කියන පුද්ගලයා ඔබ වෙන්න ඇති නේද? ඔබේ රාජකාරි හා වගකීම් ගැන මට පොඩි විස්තරයක් කියන්න’.

පළමුවෙන් මඳක් සිනාසුණු ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. ‘අපට විදුහල්පතිවරයා කියන දෙයක් කරනවා ඇරෙන්න එහෙමට කියල වෙනම විශේෂ රාජකාරියක් හරි වගකීමක් හරි නෑ. බොහෝවිට කරන්න තියෙන්නෙ ලිපි කටයුතු. එතකොට ගුරුවරුන්ට උදව් කිරීමත් ඉඳහිට කරනවා. සමහර විට ගුරුවරයෙක් නොපැමිණි වෙලාවක ඉගැන්වීමේ කටයුතුත් කරනවා’.

ඔහු අවුරුදු හතරක සේවා අත්දැකීම් සඳහන් කර තිබෙනු දුටු මම, ඔහුගේ ඉන් පෙර රැකියා පළපුරුද්ද ගැන විමසා සිටියෙමි. එවර ඔහු දුන් පිළිතුර පෙරටත් වඩා විමතිය දන්වන්නක් විය.

‘උපාධිය ගත්තට පස්සෙ මම පෞද්ගලික සමාගමකට බැඳුණා. (ඔහු එහි නමද කීවේය) කළමනාකරණ කටයුතු පුහුණුවන අයෙක් හැටියට. අවුරුදු දෙකකට පස්සෙ, මට මේ පාසලේ රැකියාව ලැබුණම මම ඒක අත්ඇරියා’.

ඔහු එම රැකියාව හැරගියේ ඇයිද? යන්න කවුරුත් අසන නිසා මමද එම පැනය ඔහුගෙන් ඇසුවෙමි.

‘ඇයි ඔබ කළමනාකාර තනතුරක් අත්හැර සංවර්ධන නිලධාරී රැකියාවකට ආවේ. මේ රැකියාවට වඩා කළමනාකාරවරයකු හැටියට ඔබේ වැටුපත්, අනාගතයේ හොඳ බලාපොරොත්තුත් එයින් තබාගත හැකියි නේද’?

ඒ පිළිබඳව තාර්තිකව කල්පනා කළ අයුරු නොවලහා කියන්නට තරම් ඔහු අවංක විය.

‘ඔව්, ඒත් දැන් මට දිනපතා ලැබෙන විවේක වෙලාව වැඩියි. මාසෙකට ලැබෙන නිවාඩු දින ගාණත් වැඩියි. මම ගෙදර ගියාට පස්සෙ කාර්යාලෙ බරෙන් මගේ මනස තනිකර නිදහස්. ඒ නිසා මට මගේ වැඩ කරගන්න වැඩි වෙලාවක් ලැබෙනවා. ආණ්ඩුව මගේ තනතුර ස්ථිර කරාවි. ඒ එක්කම ජීවිතේ පුරාවටම විශ්‍රාම වැටුපකුත් මට ලැබේවි’.

මම මගේ ප්‍රශ්නය වෙනත් දිසාවකට මාරු කළෙමි.

‘ඔබ වැඩකළ පෞද්ගලික සමාගම ආයෙමත් කවද හරි උපාධිධාරියෙක් රැකියාවට බඳවා ගනීවි කියා ඔබ හිතනවද’?

රැකියා අවස්ථා

ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවය කරන්නවුන් දහසකගේ කතාවලින් එකම එක කතාවක් විය හැකිය. රජය හෝ දේශපාලනඥයන් එක් එක් ආයතනවලින් රැකියා දීමේ කාර්යභාරය, භාරව ඉන්නා නිසා, අධ්‍යාපනය ලැබූ තරුණයෝ මෙන්ම අධ්‍යාපන සුදුසුකම් අඩු තරුණයෝද රජයේ රැකියා අවස්ථා ලබාගැනීමට දේශපාලකයන් වෙත හැරෙති.

ඇත්තෙන්ම රජය තරුණයන් උදෙසා ඵලදායී රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ ලා අසමත්ය. එසේවුවද කරන්නට වැඩ ඇතත්, නැතත්, ඔවුන්ට රැකියා සැපයීම රජයෙන් නොකඩවා කරගෙන යනු ලබයි. යම් රැකියාවකට අවශ්‍ය දැනුම සහ නිපුණතා ඔවුනට තිබුණත්, නැතත්, රජයේ රැකියාවකට ඇතුළත්වීමට හුදෙක් සහතිකයක් පමණක් තිබීම ප්‍රමාණවත් ය.

මේ ආකාරයට, එහි ඇති සියලුම ව්‍යවසායකයන් ඇතුළු මුළු රාජ්‍ය අංශයම රැකියා අවස්ථා සම්පාදනය කරන මූලාශ්‍රයක් බවට පත්ව තිබේ. ඒවායේ එවැනි රැකියා අවස්ථා නොතිබුණත් ඔවුනට, සංවර්ධන නිලධාරී වැනි තනතුරු ඒවායේ නිර්මාණය කළ හැකිය. ආර්ථිකයට එම තනතුරුවලින් ඇතිවන ඵලදායී දායකත්වයෙන් කම් නැත. අවශ්‍ය වන්නේ හුදෙක් රජයේ රැකියාවක් පමණි.

රාජ්‍ය අංශයේ රැකියා සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ 2000 ගණන්වල මුල් කාලයේ එහි රැකියා නියුතු වූවන් මිලියනයක් පමණ සිටි බවයි. මෙම සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 15 ක් දක්වා වැඩිවී තිබේ. මෙම කාලය තුළ ශ්‍රීලංකාවේ ශ්‍රම බලකායේ වැඩිවූ මුළු සංඛ්‍යාව පවා රාජ්‍ය අංශයේ වැඩිවූ මුළු රැකියා සංඛ්‍යාවට වඩා කුඩා ය.

ආර්ථික පිරිවැය

වගවීමකින් තොරව ආණ්ඩුවේ රැකියා තොග ගණන් සම්පාදනය කිරීම, පාලනයේ ගැටලුවක් ලෙස ගත්විට ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කළ හානි බොහෝය. පමණට වඩා වියදම් අධිකවීම ඒ නිසා හටගත් මහා පරිමාණ ගැටලුවක් වන අතර වර්තමාන ආර්ථික අර්බුදයට ද එය බොහෝ සෙයින් දායකවූ ගැටලුවක් වී තිබේ. එය බදු ආදායමෙන් නිදහස් වූ වැටුප් වෙනුවෙන් යන වියදම හා බැඳුණ ගැටලුවක් පමණක් නොවේ. එය එම ගැටලුව ද ඇතුළුව වඩාත් ගැඹුරට ගිය මහා ගැටලුවකි.

2021 ආණ්ඩුවේ අයවැය ගිණුමේ රජයේ වැටුප් සඳහා වූ වියදම රුපියල් බිලියන 845 කට සමීප විය. එය රජයේ බදු ආදායමෙන් තුනෙන් දෙකකට සමාන මුදල් කන්දරාවකි. කෝවිඩ් වසංගතයේ අර්බුදය පැමිණීමට පෙර 2019 දී රජයේ වැටුප් සඳහා ගිය වියදම බදු ආදායමෙන් සියයට හතළිහක් (40%) පමණ විය. එය වසර දෙදහස් ගණන්වල මුල් කාලය හා සැසඳූ විට සියයට 30 ක වැඩිවීමකි. ආණ්ඩුව නොනවත්වා දිගින් දිගටම රජයේ රැකියා සැපයීම වැඩි කළහොත් ඉදිරි කාලයේදී රජයෙන් විශ්‍රාම වැටුප් සඳහා දැරිය යුතු වියදම් ප්‍රමාණයද අනිවාර්යයෙන් වැඩි වන්නේය.

කෙසේ වුවද මේ කතන්දරය එතැනින් නිමා වන්නේ නැත. රාජ්‍ය අංශයේ ඵලදායී නොවන රැකියා වැඩිවීම ආර්ථිකයට ඇති කරන අහිතකර බලපෑම තවත් ඈතට ඇදී යයි. එය රජයේ මූල්‍ය (බදු) ආදායම් මෙහෙයුම් වලටත් ආර්ථිකයේ වර්ධනයටත් බලපෑම් කරයි. රජය පමණටත් වඩා වැඩි වියදමක් දරමින් ගැටලුකාරීව පවත්වාගෙන යන මෙම රැකියාවලින් බදු ආදායම් උත්පාදනය වන්නේද නැත. රජය සමස්ත වශයෙන් වැටුප් වෙනුවෙන් දරන වියදම වැඩිවුවද, එක් එක් රාජ්‍ය සේවකයා ලබන්නේ කුඩා වැටුපකි. එය ආදායම් බදු සීමාව ඉක්මවා නොයන පහළ මට්ටමේ එකකි.

වඩාත් ගැඹුරට ගිය ගැටලුවක් වන්නේ එයින් රටේ නිෂ්පාදන ක්‍රියාවලට දායක විය හැකි විභවතාව පිළිබඳ ගැටලුවයි. වාර්ෂික දළ දේශීය නිෂ්පාදනය ගණන් බැලීමේ දී ඒවාගේ එකතුව ඊට එකතු කරනු ලබයි.

එය දළ දේශීය නිෂ්පාදිතයට රජයේ ඵලදායි නොවන රැකියාවලින් සැබෑ දායකත්වයක් සිදු නොවීම පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. එයින් දළ දේශීය නිෂ්පාදනයට අදාළ ඇස්තමේන්තුව සැබෑ ප්‍රමාණයට වඩා පුම්බා පෙන්වයි. රාජ්‍ය පරිපාලනය වැනි සේවා වලින් (ස්පර්ශ කළ හැකි) තථ්‍ය නිෂ්පාදනයක් සිදු නොවන නිසා එවැනි ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් ඇස්තමේන්තු කරනුයේ පිරිවැය ක්‍රමයටයි. එයින් අදහස් වන්නේ එය පිරිවැය මත පවත්වාගෙන යනු ලබන රාජ්‍ය පරිපාලනයක් බවයි. එය දළ දේශීය නිෂ්පාදිතයට කරන දායකත්වයක් ලෙස ගණන් ගනු ලබයි. වෙනත් වචනවලින් කිවහොත් වැටුප් සඳහා යන වියදම ඉහළ යන විට, දළ දේශීය නිෂ්පාදිතය එයින් ඉහළ යයි.

අලෙවි කළ නොහැකි නිෂ්පාදනය

රාජ්‍ය අංශයේ රැකියා වැඩිවීම ශ්‍රීලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට සම්බන්ධ වන්නේ මෙතැනදීය. රටේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය විදේශ විනිමය අර්බුදයක් බවට අපි පුන පුනා විග්‍රහ කර ඇත්තෙමු. වෙනත් වචනවලින් කිවහොත්, එය පුළුල් වන දළ දේශීය නිෂ්පාදිතය සමග ඒ හා සමාන්තරව අපනයන වෙළඳාමේ දුර්වලතාව සිදුවීමේ ප්‍රතිඵලයකි. ඉතා දීර්ඝ කාලයක් ගත වුවද එය ස්ථිරසාරව සමබර කරගත හැකි නොවන්නේය.

පසුගිය අවුරුදු 20 පුරා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සෑහෙන තරම් වර්ධනයක් සිදුවිය. ඒ අතර රට පහළ ආදායම් මට්ටමෙන් (වර්ගීකරණයෙන්) මැද ආදායම් මට්ටමේ වර්ගීකරණයට ඉහළ ගියේය. ඇතැම් විට ඉහළ මැද ආදායම් මට්ටමේ වර්ගීකරණයටද නැංගේය. ඒත් මහත් කම්පාවක් දැනෙන පුවත නම්, මෙම කාල පරිච්ඡේදය තුළ අපනයන ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ අගයෙන් සියයට 33 සිට සියයට 15 ටත් වඩා පහත වැටීමය.

එසේ වූයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය අලෙවි නොවන අංශයේ ප්‍රබලවීමෙන් මූලික වශයෙන් වර්ධනය වීමය. ආර්ථිකයේ අලෙවි නොවන අංශයේ වැදගත් සංරචක වූයේ රාජ්‍ය අංශයේ රැකියා ව්‍යාප්තියයි. උත්ප්‍රාසයට කාරණය වන්නේ, අපගේ මූලික අවධානය වෙළඳ නොවන (අලෙවි නොවන) අංශයේ ව්‍යාප්තියට යොමුව තිබියදී අපනයනයෙන් උපයාගත යුතු ඩොලර්වලින් අප විදේශ ණය ගෙවා ගන්නේ කෙසේද යන්නය.

දැන් රාජ්‍ය අංශයේ වැටුප් කෙසේ ගෙවාගන්නේද යන ප්‍රශ්නය විසඳාගන්නට නොහැකිව රජය එම ප්‍රශ්නය සමග පොර බදමින් සිටී. අනිවාර්යයෙන්ම ඊට විසඳුම වන්නේ රාජ්‍ය අංශයේ පමණට වැඩි සේවක පිරිස අඩු කිරීම, රජයේ වැටුප් වියදම් අඩු කිරීම මෙන්ම රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම ආදියයි. එසේ වුවද ඒවා එතරම් ප්‍රියජනක විකල්ප නොවේ. එනයින් ගත්විට අප තව තවත් වැඩිපුර මුදල් අච්චු ගැසීමෙන් බලාපොරොත්තු වන්නේ, එහි ප්‍රතිඵලයක් ලෙස, විවිධාකාර පීඩා අප වෙත එනතුරු තාවකාලිකව රාජ්‍ය අංශය සතුටු කිරීම පමණකි.

සමාප්ති සටහන

මෙම අර්බුදයෙන් එක් හොඳක් උත්පාදනය වූයේය. ඡන්දදායක සමූහයාට දිගින් දිගටම වංචාකරමින් ගෙනගිය ලාබ දේශපාලනයට ඇති ඉඩකඩ මෙතැනින්ම හමාර වී තිබේ. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට තව අවුරුදු දෙකහමාරක් තිබියදී දේශපාලකයන්ට හා ඔවුන්ගේ පක්ෂවලට, ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නට විශ්වාසදායී ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබේ. එම සැලසුම ඔස්සේ ඔවුන් රට සමෘද්ධිමත්භාවයේ මාවතට ගෙන ආ යුතුය. රටේ ජනතාවට ඵලදායි රැකියා උත්පාදනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ද ඊට අයත් වූවකි.