විශේෂාංග


Share now!


තෙල්, ගෑස්, භූමිතෙල්, කිරිපිටි පෝලිම් දැන් නැති නිසා රට යථා තත්ත්වයට පත්ව ඇතැයි ඇතැම්හු කල්පනා කරති. රටේ තත්ත්වය දිගටම මෙලෙස නොපවතින බව විශ්ලේෂකයන්ගේ මතයයි. ඒ ගැන අප විමසුවේ රොෂාන් පෙතියාගොඩ මහතාගෙනි.

කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවකු වන පෙතියාගොඩ මහතා විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය දිනාගෙන තිබෙන්නේ ලන්ඩන්හි කින්ස් කොලේජ් වෙතිනි. අනතුරුව එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දර්ශන ශූරී (Mphill) උපාධිය දිනාගත් ඒ මහතා ලංකාවේ පළමු වැනි ජීව වෛද්‍ය ඉංජිනේරුවරයා ද වෙයි.

ග්‍රන්ථ කතුවරයකු, පරිසරවේදියකු, සත්ව වර්ගීකරණ විද්‍යාඥයකු, පරිපාලකයකු, කළමනාකරුවකු සේම ලංකාවෙන් අලුත් ජීව විශේෂ 100ක් පමණ විදුලොවට හඳුන්වාදුන් පර් යේෂකයකු ලෙස ද පෙතියාගොඩ මහතා ජාත්‍යන්තරයේ පවා ප්‍රකටය. මේ ඒ මහතාගේ හඬයි. 

ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 50 ක් පමණ වෙයි. මේ 2022 වසරේ දී අපගේ රාජ්‍ය මුල්‍ය අවුල් ජාලයක්ව පවතින නිසා රජයේ අයවැය තත්ත්වය නිශ්චිතව දැනගැනීම අපහසුය.

පසුගිය වසරේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව ඇතුළත්ව රජයේ මුළු වියදම රුපියල් ට්‍රිලියන 3.8 ක් නැතිනම් කෝටි 3,70,000 ක් පමණ විය.

ඇමෙරිකානු ඩොලර්වලින් නම් ඩොලර් බිලියන 20ක් පමණ වෙයි. වෙනත් වචනවලින් කියතොත්, රජයේ ණය ප්‍රමාණය මුළු රාජ්‍ය වියදමට වඩා දෙකයි දශම පස්ගුණයකින් (2.5) විශාලය.

දැන් අපි අපේ පෞද්ගලික මූල්‍ය සන්දර්භය මත මේ ප්‍රශ්නය දෙස බලමු. ඔබේ මුළු ආදායම රුපියල් ලක්ෂයකැයි අපි හිතමු. ඔබ ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් 2,50,000 ක් ලෙස උපකල්පනය කරමු. ණය ගෙවීම සඳහා ඔබේ මුළු ආදායම වූ රුපියල් ලක්ෂයම භාවිතා කළ නොහැකිය. ඔබට ගෙවල් කුලී ගෙවීමට, ආහාර හා බෙහෙත් මිල දී ගැනීමට සහ ප්‍රවාහන ගාස්තු ගෙවීමට ද තිබේ. එලෙසම දිනපතා අනෙක් වියදම් දැරීමට ද සිදුවෙයි.

ඔබගේ වියදම රුපියල් 80,000 ක් දක්වා අඩු කිරීමට හැකි වෙතැයි අපි සිතමු. එලෙස ඔබ, ඔබේ ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවීමට යෙදුවත් මුළු ණය ප්‍රමාණය ගෙවා නිම කිරීමට අවුරුදු දොළහකට වැඩි කාලයක් ගතවෙයි. මතක තබා ගතයුතු සත්‍යය වන්නේ පොලියත් ගෙවීමට තිබෙන නිසා ණයෙන් නිදහස්වීමට අවුරුදු 15 ක් හෝ 20 ක් ගත විය හැකි බවය. ඒ අතර ඔබ දැනටමත් ණය ආපසු ගෙවීමට අපහසුවී සිටින නිසා බැංකු ඔබට තව තවත් ණය ලබා නොදෙයි

උද්ධමනය ද වසරකට සියයට 60 සිට 100 අතර මට්ටමක පවතින නිසා ඉදිරි වසරවල දී බඩු මිල තව තවත් වැඩිවනු ඇතැයි බලාපොරොත්තු වන්නට සිදුවෙයි. එවිට ඔබේ ආදායමෙන් සියයට 20ක් ණය ආපසු ගෙවීම සඳහා වෙන් කිරීමට ඔබට දැනටත් වඩා අපහසු වෙයි. එබැවින් ඔබට නැවත නැවතත් බංකොලොත භාවය ප්‍රකාශ කිරීමට සිදුවෙයි. බැංකුවලින් තව තවත් ණය ගන්නට ද නොහැකි වෙයි. සත්‍යය එබඳු නිසා අප ජීවත් වන්නේ ඉතාම අමාරු හා අපහසු කාලයකයි. රනිල්, සජිත්, අනුර කුමාර හෝ කවර ආණ්ඩුවක් බලයට පත්වුවත් රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට ඒ අයට කළ හැකි දේ ඉතා සීමිතය.  ඉඳින් එසේනම් තිබෙන පිළියම් මොනවාද?

පළමුවෙන්ම අපගේ ණය හිමියන් වෙත ආයාචනය කර අප ඔවුනට ගෙවීමට තිබෙන ණය අඩු කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. එමගින් අපගේ ණය තරමක් හෝ අඩුකර ගන්නට පුළුවන් වෙයි. රජය දැනටමත් අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කරමින් සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ මුළු ණය ප්‍රමාණය සියයට 25 කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේ කළ පසුත් අපට තිබෙන විකල්ප මොනවාද? පුද්ගලයකු නම් ඔහුට කළ හැක්කේ තමන් සතු රන් ආභරණ, වාහන, නිවාස සහ වෙනත් දේපළ විකුණා ණය ආපසු ගෙවීමයි. රටක් ලෙස ලංකාව දැන් සිටින්නේ ද එතැනය.

ඒ නිසා අප සතු ණය ගෙවීමට රාජ්‍ය වත්කම් විකුණනවා හැර වෙනත් විකල්පයක් නොපවතී. අපේ ණය ගෙවිය යුත්තේ ඩොලර්වලින් නිසා ඒ වත්කම් විදේශිකයන්ටම විකිණීමට අපට සිදුවෙයි. ටෙලිකොම් සමාගම, රක්ෂණ සංස්ථාව, ඛනිජ තෙල් සංස්ථාව, ලංකා හොස්පිට්ල් පමණක් නොව ඇතැම් විට විදුලිබල මණ්ඩලයේ බලාගාර පවා විකිණීමට සිදුවෙයි. වරාය සහ ගුවන් තොටුපොළ වැනි උපාය මාර්ගික වත්කම් (Strategic assets) හැර අනෙකුත් දේපළ විකිණීමට සිදුවෙයි. රජය සතු ඒ වත්කම් සියල්ලම විකුණුවත් ඇමරිකන් ඩොලර් බිලියන 25 ක්වත් උපයාගත නොහැකිය. ඒ කියන්නේ අප සතු මුළු විදෙස් ණය මුදලින් අඩක්වත් ගෙවීමට නොහැකි වන බවය.

පුරවැසියන් ලෙස අප මතක තබාගත යුතු මතවාදී ගැටලුවක් ද පවතී. බොහෝ ලාංකිකයන් රජය සතු වත්කම් පෞද්ගලීකරණය කිරීමට සහ ඒවා විදේශිකයන්ට විකුණනවාට කැමති නැත. දශක දෙක තුනකට පෙර ලංකා මිල්ක් ෆුඩ්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ස්කාගාර සංස්ථාව යනාදී රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමට රජයට අපහසු වූ ආකාරය අපට හොඳට මතකය. ලාංකිකයන් විදේශිකයන් දෙස බලන්නේ සැකයෙනි. එහෙත් දැන් ලෝකය ක්‍රියාත්මක වන්නේ එවැනි සැක සංකාවලින් තොරවය.

එංගලන්තයේ හොඳම වාහන සන්නාම දෙකක් වන ජගුවර් සහ ලෑන්ඩ් රෝවර් ඉන්දියාවේ ටාටා සමාගමට විකුණන්න සිදුවීම හොඳම උදාහරණයයි. දැන් ඒ ආයතන දෙකම ඉතා සාර්ථකව පාලනය වෙයි. බ්‍රිතාන්‍යයේ වානේ සංස්ථාවත් ටාටා සමාගම මගින් මිලදීගෙන චීන සමාගමකට විකුණූ බව බොහෝ ලාංකිකයෝ නොදනිති. බ්‍රිතාන්‍යයේ ජාතික ගුවන් සේවය වන බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම පවා දැන් අයිතිව ඇත්තේ ස්පාඤ්ඤයේ සමාගමකටය.

අප මතක තබා ගත යුතු තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි රාජ්‍ය සංස්ථා හා මණ්‍ඩල විදේශිකයන්ට විකුණූවිට ඔවුන් ඔවුන්ගේ ලාබය ලංකාවෙන් පිටතට ගෙනියන්නේ විදේශ විනිමය වශයෙන් බවය. ඉදින් කොටස් විකිණීමෙන් අපට විදේශ විනිමයෙන් ප්‍රාග්ධනය ලැබුණත් දිගුකාලීනව අපට විදේශ විනිමය අහිමිවෙයි. එහෙත් දැන් අප බරපතළ අර්බුදයක සිටින නිසා අපට වෙනත් විකල්පයක් නොපවතී. ඒ අමිහිරි සත්‍ය පිළිගැනීමට අපට සිදුවෙයි. අප කැමැති වුවත් අකැමැති  වුවත් රාජ්‍ය වත්කම් විකුණන්නට සිදුවෙයි.

අප මතක තබාගත යුතු තවත් කරුණක් ද තිබේ. එය නම් මේ වනවිට යම් යම් අඩුපාඩු තිබුණත් ඉන්ධන, විදුලිය, ආහාර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල දැඩි හිඟයක් නොපැවතීමය. අපනයනයෙන් හා විදේශ රැකියා කරන අයගෙන් දැනට අපට ලැබෙන විදේශ විනිමයෙන් අත්‍යවශ්‍ය ආනයන කරගත හැකිය.

මේ 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට අප අපේ විදේශ ණය සඳහා පොලිය හෝ වාරික නොගෙවයි. දැන් ඒ පොලිය හා වාරික එකතු වෙමින් පවතියි. ලබන වසරේ අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ණය හිමියන්ට මසකට ඩොලර් මිලියන 500 ක් වත් ගෙවීමට අපට සිදුවෙයි.

එහෙත් ඒ සඳහා අවශ්‍ය වන අමතර විදේශ විනිමය අප සතුව නොපවතී. එබැවින් ආනයන අඩු කිරීමට රජයට යළිත් සිදුවන අතර නැවතත් භාණ්ඩ හිඟයක් ඇතිවේය කියා බලාපොරොත්තු වන්නට අපට සිදුවෙයි. ඉන් ගැලවෙන්නට අපට නොහැකිය. ඉදිරි වසරවල දී ද නැවත නැවතත් බංකොලොත්භාවයට පත්වන්නට අපට සිදුවන බව මා කියන්නේ එබැවිනි.

රටවැසියෝ ගෙවන බදුවලට අමතරව රජයට වෙනත් ආදායම් මාර්ගයක් නොපවතී. සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව වැනි සේවා පවත්වාගෙන යාමට වියදම් කරන්න රජයට වෙනත් ආදායම් මාර්ගයක් නැත. පසුගිය දිනවල රජය බදු වැඩි කළත් බොහෝ සමාගම් හා ව්‍යාපාර දැන් පාඩු ලබන නිසා හෝ ඉතා සුළු ලාබයක් ලබන හෙයින් රජයේ බදු ආදායම වැඩිවෙයි කියා සිතිය නොහැකිය. සමස්ත සංචාරක ක්ෂේත්‍රයත් භාණ්ඩ ආනයනය කරන වෙළෙඳ සමාගම් බොහොමයකුත් දැන් පාඩු ලබමින් සිටියි. ඒ නිසා ඔවුහු බදු නොගෙවති. ආනයන අඩුවී ඇති හෙයින් රේගු බදු ද සෑහෙන ප්‍රමාණයකින් අඩුවී තිබේ.

බදුවලින් රජයට ප්‍රමාණවත් ආදායමක් ලබාගත නොහැකි නම් රජයට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? එබැවින් තව තවත් දේශීය ණය ගැනීමට රජයට සිදුවෙයි. දැනටමත් රජයේ වියදම්වලින් අඩක් පමණ පියවාගන්නේ ණය ගැනීමෙනි. එහෙත් දැන් පොලී අනුපාත වසරකට සියයට විස්සකට වැඩි බැවින් ණය ගැනීම තව දුරටත් තිරසාර නොවේ. ඒ නිසා ඔබටත් මටත් කළ නොහැකි එකම දෙය කිරීමට රජය පෙළඹෙයි. එනම් රජය තව තවත් මුදල් මුද්‍රණය කරනු නිසැකය. මින් ඉදිරියට මුදල් මුද්‍රණය නොකරන බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පොරොන්දු වී සිටියත් නොකරනවාය කියන දේ කරනවා හැර ඔහුට වෙනත් විකල්පයක් නොපවතී.

2023 වසරේ දී තවත් මුදල් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට සිදුවනවා පමණක් නොව එමගින් රුපියලේ වටිනාකම ද තව තවත් අවප්‍රමාණය වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ද තවත් ඉහළ නගියි.

උද්ධමනය තවත් බද්දක් බව බොහෝ දෙනාට නොතේරෙයි. සියයට 100 ක උද්දමනය සියයට 50ක බද්දකි. උද්ධමනයෙන් වැඩියෙන් හානි වෙන්නේ දුප්පතුන්ට මිස ධනවතුන්ට නොවෙයි. උද්ධමනයත් සමග අගය වර්ධනය වන නිවාස සහ දේපළ වැනි වත්කම් ධනවතුන් සතුව පවතී. උද්ධමනයෙන් ඒවායේ වටිනාකම ඉහළ යයි. එහෙත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවිට ඇත්තටම දුක් විඳින්නේ වත්කම් හිඟ මාසික වැටුප් ලබන්නන් සහ විශ්‍රාමිකයන් සේම එදා වේල සොයාගන්නෝය.

අපේ සමාජයෙන් බහුතරය මසකට රුපියල් ලක්ෂයට අඩු ආදායමක් ලබන්නෝය. ඔවුහු තම ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ආහාර සඳහා වැය කරති. මේ වසරේ දී ආහාර ද්‍රව්‍ය මිල දැනටත් දෙතුන් ගුණයකින් වැඩිවී ඇති අතර ලබන වසරේ දී එය තවත් දෙතුන් ගුණයකින් වැඩිවනු නිසැකය. ඒ නිසා අප මුදල් මුද්‍රණය නොකළ යුතුමය. එහෙත් ඒ නොකළ යුතු දෙය කිරීමට අපට සිදුවෙයි.

අවසාන වශයෙන් අප අපේ ණය ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් කුමක් සිදුවෙයිද? ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට සහ අනෙකුත්  ජාත්‍යන්තර ආයතනවලට සේම දේශීය බැංකුවලට අප ගෙවීමට තිබෙන ණය නොගෙවා සිටියොත් එහි ප්‍රතිඵලය කුමක් වෙයිද? එහි පළමු ප්‍රතිඵලය වන්නේ අනාගතයේ දී අපට කිසිවකු ණය නොදීමයි. එසේම ජාත්‍යන්තර බැංකු අපත් සමග ගනුදෙනු කිරීම නවතා දමනු ද ඒකාන්තය. එවිට ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකිවීමෙන් අප ළඟ තිබෙන ඩොලර්වලින්වත් බඩු ආනයනය කරගැනීමට නොහැකි වෙයි. ඊට අමතරව විදේශීය ආයෝජකයන් ලංකාව මග හරිනු ද නිසැකය. 

ජාත්‍යන්තර බැංකු ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය අත්හිටුවීමට ඉඩ ඇති බැවින් ලංකාවට සංචාරකයෝ ද නොපැමිණෙති. ණය නොගෙවා සිටියොත් දේශීය බැංකු කඩා වැටෙයි. එහෙයින් ණය නොගෙවා සිටීම ගැන සිහිනෙන්වත් නොසිතිය යුතුය. මොනවා නැති වුවත් ආහාර අත්‍යවශ්‍යය.

ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන තවමත් හිඟය. එහෙයින් ඒවා සැපයීමට ප්‍රමුඛතාව දියයුතුය. රසායනික පොහොර ආනයනයට අවුරුද්දකටම වැය වන්නේ මාසයකට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කිරීමට වැය වන මුදලට වඩා අඩු මුදලකි. ආහාර නිෂ්පාදනය ඉහළ නංවා නොගතහොත් ජනතාවට බඩගින්නේ මියයාමට ද සිදුවිය හැකිය.

ජීව විද්‍යා පර් යේෂක හා විශ්ලේෂක රොහාන් පෙතියාගොඩ