නවතම පුවත්

ජගත් සිනමාවේ ජය දද බැන්දූ අපේ “මායා”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අපේ රටට දක්ෂයින්ගෙන් අඩුවක් නැත . විද්‍යා , කලා , ක්‍රීඩා ආදී ඕනෑම ක්ෂේත්‍රයක , ලෝක මට්ටමින් උපන් හපන්කම් දක්වන දක්ෂයින් රැසක් , කවදත් අප රට සතුවිය , නමුත් අවාසනාවකට මෙන් එම දක්‍ෂයින්ගෙන් බහුතරයක් සිටින්නේ රට හැරගොස්ය . එය එදත් එසේ සිදුවිය විය , අදටත් එසේමය . වඩාත්ම කණගාටුවට කරුණ වන්නේ , අපේම පොළොවෙන් මතුවන මිණිකැටවන් මෙම දක්‍ෂයින් බොහොමයක් මෙලෙස අපට අහිමිව යන්නේ , අපේගේම වරදින් වීමයි.

මායා සිංහරත්න යනු එලෙස , අපට අහිමිවී ගිය වටිනා මිණි කැටයකි. උපන් බිම හැරගොස් එංගලන්තයේ දිවිගෙවන ඇය, එංගලන්ත සිනමාව පමණක් නොව ලෝක සිනමාවද ජයගනිමින් සිටින්නයකි . මේ වනවිට එංගලන්තයේ සම්මානනීය සිනමා නිර්මාණකාරිනියක , තිර රචිකාවියක වන ‘මායා’ , තමන්ගේම චිත්‍රපට නිෂ්පාදන ආයතනයක හිමිකාරියකද වේ.

මායා සිංහරත්න නම් ඒ ජාත්‍යන්තර සිනමාවේදිනිය මේ වනවිට තම ඉලක්කයන් බොහොමයක් වෙත ළඟාවූ , තම බලාපොරොත්තු බොහොමයක් ඉටුකරගත් සාර්ථක කාන්තාවක ලෙස හඳුනාගත හැකිවුවද , ඇය එතෙක් ආ ගමන නම් කිසිසේත්ම පහසු , සොඳුරු එකක් නොවීය . මොණරාගල , සියඹලාන්ඩුවේ සිට එංගලන්තය දක්වා වැටුණු ඒ දීර්ඝ ගමන් මග දෙපස කටු කොහොල් , වලින් පිරී පැවතුනි .

ඒ අතීතය පිලිබඳ මතකයන් අප සමග බෙදාහදා ගන්නට එක්වූ මායා , මෙසේ හඬ අවදි කළාය ,

මම ඉපදුනේ සියඹලාන්ඩුවේ , මම මුලින්ම පාසල් ගියේ සියඹලාන්ඩුවේ මහා විද්‍යාලයට . පසුව මොණරාගල රාජකීය විදුහලට ඇතුලත් වුනා , කුඩා කාලයේදීම මා හට මගේ දෙමව්පියන් අහිමිවුණා. ඒ නිසාම කුඩා කල සිටම විවිධාකාරයේ දුෂ්කරතා හා අභියෝග රාශියකට මුහුණදෙන්න මට සිදුවුනා

කෙසේ නමුත් කුඩා කල සිටම කලාවට මගේ හිතේ විශාල ඉඩක් වෙන්වී තිබුනා . සිනමාව , නාට්‍ය කලාව යන ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට යාමේ ලොකු බලාපොරොත්තුවක් , අධිෂ්ඨානයක් මගේ හිතේ පැලපදියම් වී තිබුනා . ඒ අනුව තමයි මම , උසස් පෙළ විභාගය අවසාන වූ සැනින්ම වාගේ , කොළඹට ඇවිත් ටවර් හෝල් පදනමේ නාට්‍ය හා රංග කලාව පිලිබඳ පාඨමාලාව හැදෑරීමට එක්වන්නේ .

මෙතෙක් සැඟවී තිබු , මායාගේ කළා කුසලතාවයන් ඉස්මතුවන්නට පටන් ගන්නේ , ටවර් හෝල් පදනම හා එක්වීමත් සමගය . පාඨමාලාව හදාරන කාලයේදීම ” මර දූතියෝ ” නමින් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට මායාට හැකියාව ලැබෙන්නේ , ඈ තුල තිබු ඒ නිසග කුසලතාවයන් නිසාමය. ඇගේ එම පළමු නාට්‍යයම , රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී සම්මානයට පාත්‍රවන අතර , පසුව ඇය එම වකවානුවේදීම “සුභ උදෑසනක්” නමින් තවත් ළමා නාට්‍යයක් අධ්‍යක්ෂණය කලාය. එයටද 2006 වසරේදී සම්මාන හිමිවන අතර ඒ හරහා ඇගේ උනන්දුව හා ධෛර්යය තවත් වැඩිවර්ධනය විය.

ඒ අනුව ඇය 2006 වසරේ අග භාගයේදී , ඇගේ ‘සිනමා සිහිනය’ වෙතද පා තබන්නට පටන් ගත්තාය . ජාතික චිත්‍රපට සංස්ථාවේ , සිනමාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට එක්වන මායා , එහිදී white in black නමින් වූ අගේ පළමු කෙටි චිත්‍රපටිය නිර්මාණය කරන ලදී . ඇගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂය සනිටුහන් වන්නේ මින් අනතුරුවය . ඒ ගැන ඇය අප සමග පැවසුවේ මෙවැන්නකි ,

ඔව්. මම වසර දෙකක් පමණ ලංකාවේ සිනමාව ගැන ඉගෙනගත්තා . නමුත් සිනමාව යනු මහා සාගරයක් බඳු විෂයක් බව මට කෙමෙන් වැටහෙන්නට උනා . ඒ නිසාම මේ ගැන වැඩිදුරටත් ඉගෙනගැනීමට මා තුල විශාල උනන්දුවක් ඇතිවුනා . මේ වකවානුවේ මගේ සහෝදරයින් දෙදෙනාද සිටියේ එංගලන්තයේ , එම නිසා ඔවුන්ගේ සහයෝගයද ඇතිව මා 2009 වසරේදී එංගලන්තයේ ලන්ඩන් නුවර කැවෙන්ඩිෂ් සිනමා පාසලට ඇතුලත් වුනා . එහි අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව එංගලන්තයේ කිංග්ස්ටන් විශ්වවිද්‍යාලයේ , සිනමාකරණය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරුවා .

සිනමාවේ දිගු ගමනක් යාමට නම් , නවීන සිනමා තාක්‍ෂණ ක්‍රමවේද ගැනත් ඉගෙනගත යුතු බව මට තේරුම් ගියා . ඒ අනුව ත්‍රිමාන සජීවීකරණය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීමටද මා පියවර ගත්තා .

එසේ සිනමාව පිලිබඳ දැනුමින් සන්නද්ධ වූ මායා , සිනමා නිර්මාණකරණයට ඇතුලත් විය . ඇය එංගලන්තයේදී නිර්මාණය කල පළමු සිනමා නිර්මාණ ගොන්න අතර වූ friends forever නම් චිත්‍රපටයට , 2014 වසරේ ක්‍රෝයිඩන් සිනමා උළෙලේදී විශේෂ සම්මානයක් හිමිවූ අතර , අනතුරුව ඇය නිර්මාණය කල uncertain නම් කෙටි චිත්‍රපටයටද බී එෆ් අයි සිනමා උළෙලේ ජූරියේ සම්මානය හිමිවිය .

කිංග්ස්ටන් විශ්වවිද්‍යාලය වසරක් පාසා , සිදුකරන ඇගයීමකදී ,හොඳම ව්‍යාපාරික අදහස සහිත සිසුන් අතරට එක්වීමටද මායාට හැකිවිය. ඇගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනය පිහිටුවීම සඳහා අඩිතාලම වැටෙන්නේ ඒ අනුවය . කිංග්ස්ටන් විශ්වවිද්‍යාලයේද උපකාර ඇතිව ,2016 වසරේදී තම නිෂ්පාදන ආයතනය Maya24film නමින් පිහිටුවීමට මායා සමත්විය .

මේ වනවිට මායා ගේ සිනමා නිෂ්පාදන ආයතනය , එංගලන්තය තුලදී අවස්ථා කිහිපයකදීම ඇගයීමට පාත්‍රවී ඇති අතර , , විවිධ සිනමා නිර්මාණ හා කෙටි චිත්‍රපට මෙන්ම වාර්තාමය වැඩසටහන් රැසක නිෂ්පාදන කටයුතු සඳහා එහි දායකත්වය සපයා ඇත. ඇගේ එම සිනමා ගමනේ සංධිස්ඨාන කිහිපයක් ගැන අදහස් දක්වමින් මායා මෙසේ අප වෙත පැවසීය ,

” සිය දිවි නසා ගැනීම් සම්භන්ධව මා නිර්මාණය කල වාර්තාමය සිනමා නිර්මාණය විශේෂයි , . එය මා නිර්මාණය කලේ පුළුල් පර්යේෂණයකින් අනතුරුවයි . සියදිවි නසා ගැනීමට හේතුවන මානසික තත්වයන් පිළිබඳව මෙම සිනමා නිර්මාණය තුල සාකච්ජා කෙරෙනවා . එසේම ත්‍රිමාන සජීවිකරණ ක්‍රමවේද භාවිතා කරමින් මා නිර්මාණය කල සිනමා පටයද , පර්යේෂණාත්මක අත්දැකීමක් . මේ වනවිට මම චිත්‍රපට , කෙටි චිත්‍රපට , වාර්තාමය චිත්‍රපට ඇතුළු සිනමා නිර්මාණ 20කට ආසන්න සංඛ්‍යාවක් සිදුකර තිබෙනවා , ඒවා බොහොමයක් එංගලන්තය තුල මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීම්වලට පාත්‍රවී තිබෙනවා .”

මායා වැනි දක්‍ෂ සම්මානනීය සිනමාවේදිනියක ඇය උපන් , ඇගෙ මව්බිමට අහිමිවී ගිය හේතුව පිළිබඳවද අප මෙහිදී විමසා සිටියෙමු.

” මම මගේ ශ්‍රී ලංකාවට ගොඩක් ආදරෙයි. ඒ තමයි මගේ මව්බිම , උපන් රට , මට කවදාවත් ලංකාව අමතක කරන්න බැහැ. නමුත් ශ්‍රී ලංකාව තුල දක්ෂයින්ට තැනක් නැහැ , සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. ඒ නිසයි අද හුඟක් දක්‍ෂයින් , ප්‍රවීනයින් , ලංකාව හැරයන්නේ .

කාන්තාවකට , සිනමා ශිල්පිනියක් ලෙස නැගී සිටින්නට සුදුසු පරිසරයක් ලංකාව තුල නැහැ . විශේෂයෙන්ම ලංකාවේ කලා ක්ෂේත්‍රය ,පවා කැපිලි කෙටිලි වලින් පිරිලා , කුහකකම් වලින් පිරිලා . හැමදේකටම දේශපාලන බලපෑම් එල්ලවෙනවා . නාට්‍ය ශිල්පිනියක් ලෙස මා ලංකාව තුල කටයුතු කල කාලය තුල මටත් එවැනි විවිධාකාර බලපෑම්වලට මුහුණදෙන්න සිදුවුනා , විවිධ කැපිලි කෙටිලිවලට මමත් හසුවුණා , මගේ නිර්මාණ නිසි ඇගයීමකට ලක්වුනේ නැහැ .

කාන්තාවක ලෙසින් ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුල රැඳී සිටීම දුෂ්කර දෙයක් , ඇතැම් විටක ලිංගික බලපෑම් පවා එල්ලවෙනවා. සමාජයෙන් විවිධ අවලාද අපවාද එල්ලවෙනවා . ගැහැණු ළමයෙක් සිනමා ශාලාවක සිටියත් අපේ සමාජය තවමත් දකින්නේ වැරදි ආකාරයකටනේ …

සිනමා ක්ෂේත්‍රය ඉතා දියුණු මට්ටමක පවතින රටක , වෘත්තීය සිනමාවේදිනියක ලෙස කටයුතු කරන මායා සිංහරත්න , ශ්‍රී ලංකාවේ වත්මන් සිනමා නිර්මාණ ගැන දරන අදහසද අප මෙහිදී විමසා සිටියෙමු .

ලංකාව රට තුල සිනමාව අධ්‍යයනය සඳහා නිසි ක්‍රමවේදයක්, ඉඩ ප්‍රස්තාවක් නොමැතිවීම බරපතලම ගැටළුවක් . කොතරම් සහජ හැකියාවන් තිබුනත් , සිනමාව පිලිබඳ ඉගෙනීමක් තිබීමද අත්‍යාවශ්‍ය දෙයක් . ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණ කිරීම සඳහා එවැනි ඉගෙනීමක් තිබීම ඉතාම වැදගත් .

දක්‍ෂතා ඇති තරුණ තරුණියන් ලංකාවේ ඉන්නවා , සිනමාව පිළිබඳව වැඩිදුර හැදෑරීමට ඔවුන් තුල උනන්දුව තිබෙනවා . නමුත් ඊට අවශ්‍ය ඉඩ ප්‍රස්තා ලංකාව තුල නැහැ .

මෙම ගැටලුවේ තවත් පැත්තක් තිබෙනවා ලංකාවේ , ඇතැම් ප්‍රවීණ නිර්මාණකරුවන් , එවැනි කිසිදු අධ්‍යයනයකින් තොරව , කිසිදු ඉගෙනීමකින් තොරව , ‘තමන් සියල්ල දන්නවා’ යන මතයේ සිට නිර්මාණ කරනවා . එවැනි නිර්මාණවලින් ක්ෂේත්‍රය තවත් පිරිහෙනවා .

“ශ්‍රී ලංකාවට ඇවිත් , එහෙම නැත්නම් ශ්‍රී ලංකාව සමග සම්භන්ධවෙලා නිර්මාණයක් කිරීමේ අදහසක් නැද්ද” ? මායා සමග කල කෙටි , එහෙත් සුන්දර වූ පිළිසඳර නිමාකරමින් අප ඇයගෙන් විමසා සිටියා .

” ඔව් එහෙම බලාපොරොත්තු තියෙනවා . ඉදිරියේදී එවැනි ඒකාබද්ධ නිෂ්පාදනයක් කිරීමේ අදහසක් තිබෙනවා . ඒවගේම මම දැනටත් , බ්‍රිතාන්‍ය පාලන යුගයේ ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් පිලිබඳ වාර්තාමය , පර්යේෂණාත්මක චිත්‍රපටයක් නිපදවීමට මූලික පියර්වයන් ගෙන තිබෙනවා . එම බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ දැනට ඉතිරිව සිටින ඥාතීන් හමුවී ඔවුන් සමග සම්මුඛ සාකච්ජාවන් කර , පුළුල් අධ්‍යයනයක් සහිතව තමයි මෙම නිර්මාණය සිදුකරන්නේ .

මෙය ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් වේවි , ඒවගේම එය ශ්‍රී ලංකාවටත් අතිශය වැදගත් නිර්මාණයක් වේවි. බ්‍රිතාන්‍ය පාලන සමය තුල ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් සතු අත්දැකීම් , මතකයන් මෙහිදී ප්‍රතිනිර්මාණය කෙරෙනවා . ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍යය අතර ඇති සංස්කෘතික , සමාජයීය සබඳතා වර්ධනයටද මෙය බෙහෙවින් ඉවහල් වේවි . එසේම මෙහිදී ලංකාවේ ප්‍රතිරූපය නැංවෙන අයුරින් මෙම නිර්මාණය සිදුකිරීමට මම වගබලාගෙන තිබෙනවා . මෙය ඕස්ට්‍රේලියාවද සම්භන්ධ කරගනිමින් කෙරෙන දැවැන්ත කර්තව්‍යයක් , මෙය සාර්ථකව නිම කිරීම සඳහා විශාල මුදලක් වැයවෙනවා . මේ සඳහා අපේක්ෂා කරන මූල්‍ය අනුග්‍රාහකත්වය ඉක්මනින් ලැබුනොත් , මෙම වසර තුලම සිනමා නිර්මාණය එලි දක්වන්නට ලැබේවි.

මායා අතගසා ඇත්තේ සුවිශේෂී වැඩකටයුත්තකටය . ඇගේ මෙම නිර්මාණය කඩිනමින් එළිදැක්වීමට හැකි වුවහොත් එය ශ්‍රී ලංකාවට පැතිකඩයන් ගණනාවකින් ප්‍රතිලාභ ලබා දෙන්නක් වනු ඇත. මෙය ශ්‍රී ලංකාවද සම්භන්ධ කරගනිමින් සිදුකරන ලෝක මට්ටමේ නිර්මාණයක් වනබැවින් මෙරට සිනමා ක්ෂේත්‍රයට ඒ හරහා විශාල ප්‍රතිලාභ රැසක් අත්වනු ඇත . එසේම ලංකාවේ ප්‍රතිරූපය ලොවක් ඉදිරියේ ගොඩනැංවෙන අතර , මෙරට සංචාරක කර්මාන්තයටද මෙවැනි ලෝක මට්ටමේ නිර්මාණ හරහා විශාල ‘තල්ලුවක්’ ලැබෙනු ඇත . එබැවින් මායා ගේ මෙම නවතම සුවිශේෂී සිනමා නිර්මාණය සාර්ථක කරගැනීම සඳහා රටක් වශයෙන් අපගේ සහයෝගය , විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍යංශයේ සහයෝගය හිමිවිය යුතුව ඇති බව අපගේ අදහසයි .

තවදුරටත් සිනමා නිර්මාණකාරිනියක ලෙස ලෝක මට්ටමේ නිර්මාණ හරහා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන දිනාගැනීමටත් , ඒ හරහා ලෝක සිනමාවේ ප්‍රගමනය වෙනුවෙන් තමාට හැකි අයුරින් දායකත්වයක් ලබාදීමත් තම එකම බලාපොරොත්තුව බව මායා අප සමග පැවසීය . එසේම ඒ යන ගමනේදී තම උපන් බිම අමතක නොකරන බවත් , ලංකාවේ දක්ෂ , නිර්මාණශීලී තරුණ තරුණියන්ට , හැකි උපරිමයෙන් උදව් උපකාර කිරීමට තමා ඕනෑම අවස්තාවක සූදානම් බවත් ඇය දයාබර ලෙස අප සමග පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්