කන්දකාඩු උපදේශක සාජන් මේජර්වරයෙකුටත් කොරෝනා – ආශ්‍රිතයන් සොයා රාජාංගනය පීරයි

Picture of අසංක

අසංක

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන්ට දේශන පවත්වා රාජාංගනයේ සිය නිවසට පැමිණි සාජන් මේජර්වරයකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට කොවිඩ්-19 වැළඳී තිබෙන බවට තහවුරු වේ.

ඔහුගේ එක දරුවෙක් අවුරුදු එකහමාරක් වයසැති අයකු වන අතර අනෙක් දරුවා පාසල් යන වයසේ පසුවෙති.

දරුවාගේ පන්තියේ සිටි හා ඔහු ඇසුරු කළ 70ක් පමණ පාසල් සිසුන් පරීක්ෂාවට ආරක්ෂක හා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටී.

සාජන් මේජර් වරයා රාජාංගනයේ පිහිටි සිය නිවසට නිවාඩු රැගෙන පැමිණ ඇත්තේ දානමය පිංකමකට සහභාගි වීම සඳහායි.

ඔහු ඊට සහභාගි වී ඇති අතර දානමය පිංකමට සහභාගි වූ 60-70ක් පමණ දෙනා ද සෙවීම අරඹා තිබේ.

පිංකමට සහභාගි වී පැමිණි සාජන් මේජරවරයාට උණ හෙම්බිරිස්සා වැළඳීම නිසා වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන තිබේ. එහෙත් ඒ සුව වී නැති අතර කන්දකාඩුවල මතුවූ තත්ත්වය හේතුවෙන් ඇති වූ සැකය මත PCR පරීක්ෂණයක් කළ අවස්ථාවේදී වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

සාජන් මේජර්වරයා බස්රථ වල පවා ගමන් කොට ඇති බැවින් ඔහු ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ පරීක්ෂණ අරඹා තිබේ.