පාර්ලිමේන්තුවේ ආසන 145ක් හිමිකරගත් මහමැතිවරණයේ අතිවිශිෂ්ට ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

Picture of අසංක

අසංක

කෙටි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රකාශිත ඡන්දවලින් 59.09%ක් ලබා සමස්ත මන්ත්‍රී ආසන 145ක් දිනාගනිමින් අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබේ. ඒ් මෙවර මැතිවරණයේ දී ඡන්ද 6,853,690ක් ලබාගනිමිනි.

සමස්ත මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 19ක බලය හිමිකරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත. එහිදි මන්ත්‍රී ආසන 128ක් සහ ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17කි.

සමගි ජනබලවේගය පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ත් සමග සමස්ත මන්ත්‍රී ආසන 54ක් දිනාගනිමින් ඡන්ද 2,771,980ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 23.9ක් වේ. සමගි ජන බලවේගය මැතිවරණ කොට්ඨාශ 10ක් ජයග්‍රහණය කර ඇත.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඡන්ද 327,168ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 10ක් හිමිකර ගැනීමට සමත් වුණි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පක්ෂය ඡන්ද 445,958ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 3.84ක් වේ. ඔවුන් කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද සමග ඔවුන් ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03කි.

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය ඊපිඩිපි පක්ෂය මෙවර මැතිවරණයේ දී මන්ත්‍රී ධුර දෙක බැගින් දිනාගත්තේය.

එක්සත් ජාතික පක්ෂයට මෙවර දිවයිනෙන්ම ලබාගත හැකි වුයේ ඡන්ද 249,435ක් පමණයි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 2.15ක් වන අතර ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවේ.

අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට සමත් වුණි.

තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, ටි.එම්.ටි.කේ.පක්ෂය, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගත්තේය.