කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානී සමාගමේ යෝජනාවට මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ අනුමැතිය හිමිවූ බවට ශ්‍රී ලංකා ආණ්ඩුව නිකුත් කළ නිවේදනයේ අඩංගු ඇතැම් කරුණු , නිවැරදි නොවන බව ඉන්දියාව අවධාරණය කර සිටී
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ගනුදෙනුව ශ්‍රී ලංකා ආණ්ඩුව සහ අදාළ ආයෝජකයා අතර සිදුවන සෘජු ගනුදෙනුවක් බවය.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට 2021 පෙබරවාරි 01 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.
ඒ අනුව එම ගනුදෙනුවට අදාළ ගිවිසුම සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුවක් පත්කළ අතර එම කමිටුව සකස් කළ ගිවිසුම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට යොමු කර ආයෝජකයින් නම් කරන ලෙස ඉල්ලා සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පසුගිය අඟහරුවාදා නිකුත් වූ එම නිල නිවේදනයේ දැක්වුණේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා Adani Ports and Special Economic Zone සමාගම විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාවය හිමිවූ අතර ජපාන රජය මේ වනතෙක් ආයෝජකයෙක් නම් කර නොමැති බවය.
මෙරට ආණ්ඩුව එසේ පැවසුව ද ඉන්දීය මාධ්‍යවේදියෙක් කළ විමසීමකදී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ගනුදෙනුව ශ්‍රී ලංකා ආණ්ඩුව සහ අදාළ ආයෝජකයා අතර වූ සෘජු ගනුදෙනුවක් බවය.
එම ආයෝජනය සිදුකරන සමාගමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාවය හිමිවූ බවට ශ්‍රී ලංකා ආණ්ඩුව නිකුත් කළ නිවේදනය එහි සඳහන් කරුණු මත පදනම්ව නිවැරදි නොවන බවත් මෙරට ආණ්ඩුවට එය දැනුම් දුන් බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා එහිදී පවසා ඇත.