පාස්කු ප්‍රහාරය ගැන කී කතාවට සජබ මන්ත්‍රී අශෝක් දුක් වෙයි

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය පදනම් විරහිත බවත් එම ප්‍රකාශය පිළිබඳ කනගාටුවට පත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද පැය 5ක කාලයක් මන්ත්‍රීවරයාගෙන් එම ප්‍රකාශයට පදනම් වූ කරුණු සහ එම තොරතුරු ලද ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විමසූ බවයි.

එහිදී එම ගැටලු දෙකටම පිළිතුරු දිමට මන්ත්‍රීවරයාට නොහැකි වූ බවත් ඔහු සිය කනගාටුව පළකළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

පාස්කු ප්‍රහාරය කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ බවත් ඊට මුදල් සැපයුවේ නිශ්ශංක සේනාධිපති බවත් අශෝක් අබේසිංහ මහතා පවසා තිබුණි.

මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙකු සහ නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලට අනුව මෙම විමර්ශනය පැවැත්විණ.

කෙසේවෙතත් මීට පෙර අවස්ථා දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසීටීම මගහැරි අශෝක් අබේසිංහ මහතා අද පැමිණ තිබුණි.

මෙම විමර්ශනයේ ඉදිරි කටයුතු නීතිපතිවරයාගේ උපදෙස් මත සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.