කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනි ගැනීමට ලක් වූ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් හා එමගින් සමුද්‍රීය පරිසරයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව නීතිපති සංජය රාජරත්නම් මහතා සමග අද සාකච්ඡා කර තිබේ.
නැව් ගින්නට අදාළ ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් ඉටුවනු ඇති බව නීතිපතිවරයා අගමැතිවරයා වෙත සහතික විය.
මෙරට 48 වැනි නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේ ය.
නව නීතිපතිවරයා වෙත සංජය රාජරත්නම් මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සුබ පැතුම් එක් කළේය.
පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකර එම චූදිතයන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බවද කියා සිටියේ ය.
මෙහි දී නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් ගොඩනැඟිල්ලක් ලබාදීම ගැන අග්‍රාමාත්‍යතුමාට සිය ස්තූතිය පළකළ නීතිපතිවරයා අතීතයේ සිට නීතිපති දෙපාර්තමේන්තුව පිහිටා ඇති ගොඩනැගිල්ල ඉතා පැරණි හා පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් වන බැවින් එහි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජයේ සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
මිනීමැරුම් නඩු සම්බන්ධයෙන් කෙරෙන ලඝු නොවන නඩු කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයේ විමසීමට ගැනීමේ දී ඒ සම්බන්ධව මෙයට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වුවත් දැනට එසේ නොවීම නිසා ඇතිව තිබෙන ගැටලු පෙන්වා දී ඒ සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය හා සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නැයි නීතිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ , නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චේතිය ගුණසේකර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන්වන චමින්ද කුලරත්න, ගනේශ් ධර්මවර්ධන මහත්වරු එක්ව සිටියහ.