මෙරට කාබනික ගොවිතැන ශක්තිමත් කරන්න ජාත්‍යන්තරයේ සහයත් අවශ්‍යයි- ජනපති

Picture of අසංක

අසංක

කාබනික ගොවිතැන සඳහා වූ දේශීය ධාරිතාව ශක්තිමත් කිරීමට සෙසු රාජ්‍යයන්හි බහුපාර්ශ්වීය සංවිධානවල, තාක්ෂණික විශේෂඥයින් හා ආයතන මෙන්ම ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රසාදය පළ කරමින් ඊට ගෞරව දැක්වීමක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සමුළුවේ පළමු සහ විශේෂ දේශනය සඳහා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඇරයුම් කර තිබේ.

ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂිපරිසර විද්‍යාව පිළිබඳ සැසිය ඊයේ (04) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අතර එහිදී ජනාධිපතිවරයා වෙත මෙම ගෞරවය හිමිවිය.

“මෙම සංක්‍රාන්තිය අතරතුර මුල් අදියර වලදී ගැටලු පැනනගින බව අපි දනිමු. ගෘහස්ථ නිෂ්පාදනයේ සහ කාබනික විකල්ප සැපයීමේ බාධාවන් මෙන්ම තහනමෙන් පැන නගින අහිතකර මහජන මතවාද ද ඊට ඇතුළත් ය. කෙසේ වෙතත් නායකයින් වශයෙන් අප මුහුණ දෙන විවේචනාත්මක අභියෝග නොතකා තීරණාත්මක පියවර ගත යුතුය. වගකීම් සහිත තීරණවලට එළඹීමේ දී අප පසුබට වන්නේ නම් මෙවැනි අත්‍යාවශ්‍ය මුල පිරීම් සැම විටම සාකච්ඡාවලට පමණක් සීමාවනු ඇතැයි” ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෘතිම පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජය ගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්ත පද්ධතියක් සඳහා සංක්‍රමණය වීමට තිබූ දිගුකාලීන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එවැනි ප්‍රතිපත්ති පාරිසරික සංරක්ෂණයට සහාය විය යුතුය. එමෙන්ම ජෛව විවිධත්වය විනාශ වීම වැළැක්වීමට සහ වඩාත් තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට ජනතාවට සහායක් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

දේශගුණික විපර්යාස, මානව වර්ගයා මුහුණ දෙන බරපතල ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි බලපෑම අවම කිරීමට සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළේය.