රාජ්‍ය ඇමතිවරයකුගේ ලේකම් ලෙස ඉඳිමින් කඩ විකිණූ අයෙක් සමඟ 3ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නාලක ගොඩහේවා මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් නාගරික සංවර්ධන අධිකාරියට අයත් බංගලා සහ තානායම් සහ පෑලියගොඩ මැනිං වෙළද පොලේ පිහිටි කඩ කාමර ව්‍යාපාර කටයුතු සදහා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකිරීම්වල නිරතව සිටි පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් වාණීජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද සිටින්නීය. ඇය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ දේශපාලනික කටයුතුවල නිරතව සිටි ක්‍රියා කාරිණියකි. නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික ජනාවාස අධිකාරියේ ඇය උපදේශිකාවක් ලෙසද කටයුතුකර ඇත. මෙම වංචාවට ඇය සම්බන්ධ බව දැනගත් වහාම රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා විසින් ඇයගේ තනතුර අහෝසිකර ඇයට එරෙහිව නීතිය ක්‍රියාතමක කරන ලෙස වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දී තිබේ.

මෙම කාන්තාව ගණේමුල්ලේ පදිංචිකාරියක් වන අතර හිටි හැටියේම ධනවත් වූ තැනැත්තියක් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදුව ඇත. අනෙත් පුද්ගලයා ප්‍රසිද්ධ ගිනිකෙළි භාණ්ඩ නාමයක් හිමි රතිඤ්ඤා කම්හලක හිමිකරුවෙකි.

මෙම ඡාවාරමේ ප්‍රධාන සැකකරු ප්‍රංශයේ වැඩි කාලයක් ජීවත්වන පුද්ගලයෙකි. වත්තල මාබෝලේ පිහිටි ප්‍රධාන පෙලේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකුගේ ඥාතියෙක් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මේ පුද්ගලයාගේ නම හා රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ නම එක හා සමාන බැවින් මෙම වංචාව ඔහු විසින් ඉතා සූක්ෂම ලෙස කරගෙන ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. අමාත්‍යාංශයේ ලිපි ලේඛන පවා මේ සදහා ව්‍යාජ ලෙස සකස්කර යොදා ගෙන ඇති බවද පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මැනිං පොදු වෙළද පොලේ කඩකාමර රැසක් සදහා ඔවුන් විසින් ව්‍යාජ ලෙස ඔප්පු පවා සකස්කර තිබී පොලීසියට හමුවී තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.