කෞතුකාගාර – පුරාවිද්‍යා ස්ථාන සංචාරයට ඇරේ

Picture of Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන ඊයේ (14) සිට සංචාරකයින් සඳහා යළි විවෘත කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. කොවිඩ්-19 වසංගත හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව මේවන තෙක් මාස ගණනාවක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා වසා තිබූ  මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර හා පුරාවිද්‍යා ස්ථාන නැරඹිය හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවසීය.

ඒ අනුව, සංචාරකයින්ගේ ආකර්ශනීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍ය නීතිරීති හා මාර්ගෝපදේශ ප්‍රකාරව සහ අදාළ චක්‍රලේඛවලට අනුගතව විවෘත කෙරේ.

ඒ, සමග ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුවේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ප්‍රථම එළිමහන් විවෘත කෞතුකාගාරය වන ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියේ පිහිටි කෞතුකාගාරය, දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ජේතවනය, අභයගිරිය සීගිරිය, මහනුවර, පොළොන්නරුව, කතරගම, යාපහුව, රත්නපුර, මොනරාගල, නාමල් උයන, ත්‍රිකුණාමලය, දඹදෙණිය, රිදී විහාරය, යාපනය, රම්බා විහාරය යන ස්ථානයන් හි පිහිටි සියලුම කෞතුකාගාර විවෘත කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.