ලොහාන් රත්වත්තේ සිදුවීම – මැර දේශපාලනය සහ ශ‍්‍රී ලාංකේය ජනසමාජය!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් පසුගිය දිනක රාත‍්‍රියේ අනුරාධපුරය බන්ධනාගාරය තුළට ඇතුළු වී එම බන්ධනාගාරය තුළ රඳවා සිටි රැුඳවියන් කිහිපදෙනකු දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර තර්ජනය කිරීමේ සිද්ධියක් සහ එම සිදුවීමට දින කිහිපයකට ප‍්‍රථම මෙම රාජ්‍ය අමාත්‍යවරයාම කාන්තාවක් ද ඇතුළු තවත් සිවිල් පුරවැසියන් කීප දෙනකු සමග වැලිකඩ බන්ධනාගාරය තුළට අනීතික ලෙස ඇතුළු වී එහි සේවයේ නියුතු බන්ධනාගාර නිලධාරීන් සමග වචන හරඹයක පැටලී රාජකාරියේ නියුතුව සිටි එම නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව ද පසුගියදා ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී. මෙම සිද්ධීන් දෙකම මුල්කොට මේ වන විට ලොහාන් රත්වත්තේ මහතා ඔහු එතෙක් දරමින් සිටි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යොමු කර ඇති අතර මෙම තනතුරට අමතරව ඔහු දරමින් සිටින මැණික් හා ස්වර්ණාභරණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ධුරයේ දිගටම රැඳී සිටින බවට බවටද ප‍්‍රකාශයක් කර ඇත.

කුමන කෝණයකින් බැලූවද මෙම සිද්ධීන් දෙකම ඉතා බරපතළ ගණයේ සිද්ධීන් ලෙස සැලකිය හැක. යම් සිවිල් පුරවැසියකු අපරාධමය හෝ වෙනත් චෝදනාවක් සම්බන්ධව බන්ධනාගාරගත කිරීමක් යනු ඔහුගේ නිදහස අහිමි කිරීමක් වන අතර එම පුද්ගලයා බන්ධනාගාර ගත කරන අවස්ථාවේ සිට ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කරන අවස්ථාව දක්වා එම රැුඳවියා ගේ පූර්ණ ආරක්ෂාව රාජ්‍යය වෙත පැවරෙනු ලබයි. එලෙස රාජ්‍යයේ ආරක්ෂාව යටතේ සිටින අයකු හට බාහිර පාර්ශ්වයක් මගින් මානසික හෝ කායික හිංසනයකට යටත් කිරීම ශිෂ්ට සමාජය විසින් සලකනු ලබන්නේ ඉතා බරපතළ ගනයේ සිදුවීමක් ලෙසය. එසේම මෙම ක‍්‍රියාව සිදුකරන ලද පුද්ගලයා විධායකයේම කොටසක් ලෙස සැලකෙන රාජ්‍ය අමාත්‍ය වරයෙකු වීම මෙම සිද්ධියේ බරපතළකම වඩාත් තීව‍්‍ර කරන බව සඳහන් කළ යුතුය.

ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාගේ පසුබිම සලකා බැලීමේදී මොහු මීට පෙර දෙවතාවක් මිනීමැරීමේ චෝදනාවන් යටතේ සැකකරුවකු ලෙස බන්ධනාගාරගත කරන ලද පුද්ගලයකු බව අප අමතක කළ යුතු නැත. 90 දශකයේ ඔහුගේ පියා වන අනුරුද්ධ රත්වත්තේ මහතා නියෝජ්‍ය ආරක්ෂ අමාත්‍යධූරයේ කටයුතු කරමින් සිටි වකවානුවේ ‘ලොහාන්’ රාත‍්‍රී සමාජ ශාලාවක සිදුවූ සිද්ධියක් හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටි ෆීජි ජාතික රග්බි ක‍්‍රීඩකයකු වූ ජොයෙල් පේ‍්‍රරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් අදාළව සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, 2001 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවේදී මහනුවර උඩතලවින්න ප‍්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආධාරකරුවන් පිරිසක් ගමන් කළ වෑන් රථයකට ප‍්‍රහාරයක් එල්ල කර එම කණ්ඩායමේ සිටි තරුණයන් කිහිප දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව ද ලොහාන් රත්වත්තේ ප‍්‍රමුඛ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද බව අප විසින් අමතක නොකළ යුතු කරුණකි.

 

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලෙස පත්කෙරේ

 

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්ථාපන කටයුතු භාර අමාත්‍ය ධූරය ලබා දී ඇත්තේ මෙවැනි පසුබිමක් සහිත පුද්ගලයෙකුට වීම කනගාටුවට කරුණක් ලෙස සැලකිය යුතුය. ලොහාන් රත්වත්තේ මහතා අධිකරණය ඉදිරියේ වරදකරුවකු වී නැති තාක් කල් ඔහු නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවට ඇති පූර්ව නිගමනය යමකු මේ අවස්ථාවේදී තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැක. එහෙත් රජයේ සේවයට යම් කෙනකු බඳවාගැනීමේදී වුවද එම පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවකු බවට පත්වීම ම ඔහුගේ බඳවා ගැනීමට බාධාවක් වන බව අප විසින් අමතක නොකළ යුතු කරුණකි. එසේම මෙම සිද්ධියෙන් වලට අදාළව පැවති නඩු විභාගයන් අවසන් ව මේ කිසිදු සැකකරුවකු නිදොස් කොට නිදහස් වූ අය නොව විවිධ තාක්ෂණික දුෂ්කරතා සහ ශ‍්‍රී ලංකාවටම ආවේණික දෝෂයක් ලෙස සැලකෙන දීර්ඝකාලීන නඩු විසඳීම පමා වීමේ ක‍්‍රියාවලියට පින්සිදුවන්නට නිදහස් පුද්ගලයන් ලෙස සමාජයේ ජීවත් වීමට වරම් ලැබී ඇති අයවලූන් බවද අප අමතක නොකළ යුතු වැදගත් කරුණකි.

ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන අපේ අසල්වැසි ඉන්දියාව මෙම තත්ත්වය හමුවේ අපට වඩා ගව්ගානක් ඉදිරියෙන් සිටී. ඉන්දියානු පරිපාලන ව්‍යුහය තුළ වඩාත් ශක්තිමත් වන්නේ රාජ්‍ය සේවකයා මිස දේශපාලනඥයා නොවේ. ඉන්දියානු රාජ්‍ය සේවය වඩාත් ශක්තිමත් කරන ශක්ති ප‍්‍රභවය වන්නේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයයි. ශ්‍රේෂ්ඨ විනිශ්චකරුවන් විසින් දෙන ලද සුප‍්‍රකට නඩු තීන්දු වලින් සන්නද්ධව වඩාත් ශක්තිමත් ලෙස නැගී සිටින ඉන්දියානු පරිපාලන ක්ෂේත‍්‍රය දේශපාලකයන් අභිබවා සිටින තත්ත්වයක් නිරීක්ෂණය වේ. මෙහිදී අප වඩාත් සැලකිල්ලට ගත යුතු වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ක‍්‍රියා කළ යුතු ආයතන තම කාර්යභාරය වඩාත් නිවැරදිව ඉටු කිරීමයි.

මෙහිදී පොලිසිය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණයත් ඒ සැමට ඉදිරියෙන් ජනතාවත් වඩාත් විචාරශීලී ලෙස පෙරමුණ ගන්නේ නම් නීතිය අතට ගෙන ක‍්‍රියාකරන දේශපාලනඥයින්ගේ ක‍්‍රියාවන් මට්ටු කර වඩාත් සාධාරණ සමාජයක් ශ‍්‍රී ලාංකීය ධරණී තලයේ තුළ බිහි කිරීමේ අවස්ථාව අපට නිතැතින්ම උරුම වනු ඇත.

ඒ දවස උදා වනතුරු සුබ සිහින දකිනවට වඩා ඒ දවස උදා කර කර ගැනීමට වඩාත් කාර්යක්ෂම ලෙස තම කාර්යභාරය ඉටුකිරීම සෑම ශ‍්‍රී ලාංකීය පුරවැසියකුගේම පරම යුතුකමක් ලෙස සලකනු ලැබිය යුතුය. නීතිය අතට ගෙන ක‍්‍රියාකරන දේශපාලනඥයන්ගේ ක‍්‍රියාවන් ප‍්‍රසිද්ධියේ විවේචනය කළ යුතු අතර හේ සියලූම මැරයන් දේශපාලන භූමියෙන් ඉවත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් මෙරට ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක් ලෙස ද සැලකිය යුතු වන්නේය.

 

බිමල්කා පෙරේරා 

සම සංස්කාරක 

freemedia.lk