ඩොලරය සඳහා නිල නොවන උපරිම මිලක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දේශීය මුදල් වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙමින්, ඩොලරය සඳහා නිල නොවන මට්ටමේ උපරිම මිලක් (Capped Price) නියම කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් වාණිජ බැංකු ප්‍රධානීන් සහ බලයලත් මුදල් හුවමාරු ආයතන හිමිකරුවන් කැඳවා අවිධිමත් සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බවයි.

එහිදී ඩොලරයේ අගය රුපියල් 329 ත් 335 ත් අතර සීමාවක පවත්වාගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන ද උල්ලංඝණය කරමින් අන්තර් බැංකු හුවමාරුව සඳහා ඩොලරයට රුපියල් 330 ක නිල නොවන පාලන මිලක් පනවා ඇති බව එම නිවේදනයේ සඳහන්.

මීට අමතරව ආනයනකරුවන්ට මුදල් මෙරටට ගෙන ඒමට ලබා දී තිබූ දින 90 ක කාලය දින 30 දක්වා සීමා කිරීමට ද පියවර ගෙන ඇති බවත් එහි දැක්වෙනවා.

මහ බැංකුව වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් මවමින් (තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගසමින්) කටයුතු කිරීම හේතුවෙන් පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (M2b) විශාල ලෙස ප්‍රසාරණය වී ඇති බවත්, පසුගිය මාස 15 තුළ රුපියල් බිලියන 2,146.1 කින් (ට්‍රිලියන 2.1 කින්) මුදල් සැපයුම ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

2026 වසරේ පළමු මාස තුන තුළ පමණක් (ජනවාරි – මාර්තු) මහ බැංකුව රුපියල් බිලියන 610.7 ක් මවා ඇති අතර, මාර්තු මාසයේදී පමණක් එම අගය රුපියල් බිලියන 309.4 ක් බව එහි සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුත් නව මුදල් නෝට්ටු මේ වන විට වෙළෙඳපොළට විශාල වශයෙන් එකතු වී ඇති බවත්, 2025 ජනවාරි 1 වනදා රු. මිලියන 1,351,312 ක් වූ සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය, 2026 මැයි 22 වන විට රු. මිලියන 1,655,268 දක්වා රුපියල් මිලියන 303,956 කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මුදල් සැපයුම ට්‍රිලියන ගණනින් ඉහළ දැමුවද රටේ විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව නොමැති බවත්, 2025 මාර්තු මාසයේ ඩොලර් මිලියන 6,531 ක් වූ විදේශ සංචිත 2026 අප්‍රේල් අවසානය වන විට වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 6,759 දක්වා සුළු ප්‍රමාණයකින් බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම ඉදිරි දිනකදී IMF වෙතින් ලැබීමට නියමිත ඩොලර් මිලියන 700 ක මුදල අයවැය හිඟය පියවා ගැනීමට (භාණ්ඩාගාර කටයුතුවලට) මිස සංචිත ශක්තිමත් කිරීමට යොදාගත නොහැකි බවත් ඔහු එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

මේ අතර, මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය ද 2024 නොවැම්බර් මස පැවති රු. බිලියන 28,240.22 සිට 2025 වසර අවසානය වන විට රු. බිලියන 29,994.69 දක්වා රුපියල් බිලියන 1,754.47 කින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.