මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක්වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ඇය මේ බව පවසා ඇත.
කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නීය.
2021 තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් හතකින් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව, රටවල් 165ක් අතුරින් 87වන ස්ථානයට පත්ව ඇති බව විග්නරාජා මහත්මිය එහිදි දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ සඳහා විදෙස් ආයෝජකයන්ගේ ආකර්ශනය දිනාගැනීමට ඇති හැකියාව පිළිබඳවද එහිදි සාකච්ඡාවට ලක්කර ඇත.
කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික බලපෑම්වලට විසඳුම් සොයන අතරතුර, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ජනාධිපතිවරයා එහිදි පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ වෙනුවෙන් “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය” සහ “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකාය” ඇතුළු විධිමත් ව්‍යුහයක් සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදි පවසා තිබේ.