ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය නිමවේ – චක්‍රලේඛය නිකුත්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

මේ අතර 2020 වසරේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර පත්වීම් ලබාදීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

උපාධිධාරීන් 51,682කු සඳහා මෙලෙස ස්ථීර පත්වීම් ලබාදීමට නියමිත අතර ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පුර්ණ කළ උපාධිධාරීන් සඳහා මේ වසරේ ජනවාරි මස 03 වන දින ස්ථීර පත්වීම් හිමිවන අතර වසරක පුහුණුව සම්පූර්ණ නොමැති උපාධිධාරීන් සඳහා අප්‍රේල් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර පත්වීම් ලබාදීමට නියමිතය.