උපාධිධාරීන් 51000කට රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 51,000ක් ස්ථීර පදනමින් සංවර්ධන නිලධාරී තනතුර සඳහා අනුයුක්ත කර ඇත

ජනවාරි මස 3 වනදා සිට මොවුන් සංවර්ධන නිලධාරී තනතුරට අනුයුක්ත කර තිබෙන අතර  ස්ථීර පත්වීම් ලබන සංවර්ධන නිලධාරීන් ට රුපියල් 31,490ක මුලික වැටුපක් ගෙවීමට නියමිතය.

කෙටි කාලයක් තුළ රාජ්‍ය සේවයට මෙතරම් නිලධාරීන් පිරිසක් ස්ථිර පදනමින් බඳවාගත් පළමු අවස්ථාව මෙය බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (05) පැවසීය.

පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් ‍ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පුහුණුව සම්පූර්ණ කරන අනුපිළිවෙළ අනුව කොටස් තුනක් යටතේ ස්ථිර පත්වීම් ඔවුන්ට දීමට කටයුතු කළ බවත් ඒ මහතා කියා සිටි‍යේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“2020 සැප්තැම්බර් මස 02 වැනි දින සිට මේ දක්වා කොටස් තුනක් යටතේ උපාධිධාරීන් 58,145ක් බඳවාගෙන තියෙනවා. ඒ අතරින් උපාධිධාරීන් 53,177ක් පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පුහුණුව සඳහා වාර්තා කළා. වසරක් ඉකුත් වන විට අභ්‍යාසලාභීන් ලෙස සිටි සංඛ්‍යාව 51,682ක්. අපි රාජ්‍ය සේවය දිවි හිමියෙන් රකිනවා. මමත් හිටපු රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා. පුහුණු කාලය වසරක් සම්පූර්ණ කළාට පසුව අනෙක් අයටත් පත්වීම් ලිපි දෙනවා.”