බහුතරය පෙන්නුවොත් , ආණ්ඩුව දෙනවා – ජනපති

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

තමාට අවශ්‍ය රට අස්ථාවර නොකිරීමට බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ රැස්වූ අතර එහිදී ඔහු මේ බව සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇත්තේ මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව ආණ්ඩුව කෙරෙහි වෛරයකින් පසුවන බවය.

ජනතාවගේ එම දැවෙන ප්‍රශ්නවලට වහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

අර්බුදය ආරම්භ වුයේ පොහොර ප්‍රශ්නය හේතුවෙන් බවත්,එය දිගින් දිගටම ගොස් ආණ්ඩුව කෙරෙහි වෛරයක් දක්වා වර්ධනය වූ බවත් ,එම මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇත .

එහිදී අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය ඉවත් වී ඇති බවත්, ඒ සඳහා වෙනත් පක්ෂවල අය සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන ඇති බවත් ප්‍රකාශ කර ඇත.

කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ යන මහත්තරුන්ට ඇමතිධුර ලබා නොදෙන බවද අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත.