කෝප් කමිටුවේදී , ලං.වි.ම සභාපති කිව්වේ බොරුවක්ද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෝප් කමිටුව, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එම කමිටුව හමුවේ තමන් සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු පවසනවා.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව දන්වා තිබෙනවා.


ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ කළ මෙම ප්‍රකාශය ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රචාරය වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් පළ කර තිබුණා. එහි දැක්වුණේ කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය තමන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේ දී අධිකාරීමය බලය භාවිත කළ බවට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තමා එලෙස ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වුණේ.

කෙසේවෙතත් ඉන් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු, කෝප් කමිටුවේ සභාපතිවරයා වෙත අදාළ ලිපිය යොමු කරමින් තමන් සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.