මැතිව්ස්ගේ අවසන් තරඟය ඇරඹේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වනවා.

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරඟය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරඟයද මෙය වීම හේතුවෙන්.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්ට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම සඳහා තරඟය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඔහුගේ දැවැන්ත ඡායාරූප සහිත පුවරුවලින් සැරසීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනය වන විටත් පියවර ගෙන තිබුණා.

වසර 16ක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස යන කණ්ඩායම් තුනේම නායකත්වය දරා තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්වා ටෙස්ට් තරඟ 118කට ක්‍රීඩා කර ඇති ඇන්ජලෝ මැතිව්ස් ඉනිම 210කදී රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 8,167ක්.

ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 45ක්ද ඔහුගේ පිත්තෙන් වාර්තා වී තිබෙනවා.

ඔහු ටෙස්ට් ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2020 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ හිදී නොදැවී රැස්කළ ලකුණු 200යි.

අවශ්‍ය අවස්ථාවේදී පන්දු යවන්නෙකු ලෙසද ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වූ මැතිව්ස් බිඳ හෙළා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 33ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ පිතිකරුවන් අතර ඇන්ජලෝ මැතිව්ස්ට තුන් වන ස්ථානය හිමි වනවා.

ටෙස්ට් ලකුණු අනුව ඔහුට ඉහළින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් වන්නේ කුමාර් සංගක්කාර සහ මහෙල් ජයවර්ධන පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකට ක්‍රීඩා කළ ක්‍රීඩලයින් අතරේ ඇන්ජලෝ මැතිව්ස්ට තුන්වන ස්ථානය වී තිබෙනවා.