ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්වීමෙන් පසු මැදපෙරදිග ගුවන් ගමන් නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා රාත්‍රී කටාර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ වසා දැමූ මැදපෙරදිග ගුවන් සීමාව නැවත විවෘත කර ඇතැයි ද, කලාපයේ ප්‍රධානතම ගුවන් සමාගම් වන කටාර් සහ එමිරේට්ස් නැවත සිය මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කෙසේ වෙතත් මගීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන බොහෝ විදේශීය ගුවන් සමාගම් සිය මැදපෙරදිග මෙහෙයුම් සීමා කිරීමට හෝ ප්‍රමාද කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් දත්ත විශ්ලේෂණ වෙබ් අඩවි සඳහන් කර ඇත්තේ මැදපෙරදිග උද්ගතවූ අවදානම් තත්ත්වය මත ඊයේ දිනයේදී ලොව පුරා ගුවන් ගමන් 243ක් අවලංගු කර ඇති බවය. බලපෑමට ලක්වූ මගීන්ට සහාය වීම සඳහා හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සහ සෙසු ගුවන්තොටුපොළවල සහායට අතිරේක කාර්ය මණ්ඩලයක් යොදවා ඇතැයි ද, රජයේ උපදෙස් අනුව කටයුතු කරමින් සාමාන්‍ය ගුවන් මෙහෙයුම් යළි ක්‍රමයෙන් ආරම්භ කර ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් කටාර් ගුවන් සමාගම සඳහන් කර තිබේ. සිය මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ඉහළම ප්‍රමුඛතාව බව ද එම නිවේදනයෙන් කටාර් ගුවන් සමාගම අවධාරණය කර තිබේ.