ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදාය ජාත්‍යන්තරයට ගෙනයන “අනුෂ්කා”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නර්තනය, ගායනය සහ කලා අධ්‍යාපනය ඔස්සේ දිගහැරෙන ශ්‍රී ලාංකික කලාකාරිනියකගේ ගමන

නර්තන නිර්මාණය, නර්තනය, රංගනය සහ ගායනය යන කලා ක්ෂේත්‍රයන්හි දක්ෂතා විදහා දක්වන බහුවිධ කලා හැකියාවන්ගෙන් පිරිපුන් ශිල්පිනියක වන අනුෂ්කා හේවා අබේකෝන්ගේ, මේ වනවිට එක්සත් රාජධානිය තුල ශ්‍රී ලාංකේය කලා හා සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීමට විශාල මෙහෙවරක නිරතව සිටී . විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය නර්ථන කලාව සඳහා බ්‍රිතාන්‍ය තුල අධ්‍යාපනිකමය වශයෙන් පිළිගැනීමක් ලබාදීමට ඇය විශේෂයෙන් කැපවී කටයුතු කරමින් සිටී . ,

මේ අනුව ශ්‍රී ලංකාවේදී ඇරඹූ කලා ගමන එක්සත් රාජධානිය දක්වා රැගෙන ගොස්, නර්තනයෙන් සහ සංගීතයෙන් තම සංස්කෘතික අනන්‍යතාව ප්‍රකාශ කරන කලාකාරිනියක ලෙස අනුෂ්කා හේවා අබේකෝන්ගේ හඳුන්වා දිය හැකිය. වේදිකා රංගනයට පමණක් සීමා නොවී, දරුවන්ට කලා පුහුණුව ලබාදීම සහ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් නව පරපුරට සමීප කිරීම ද ඇගේ කටයුතු අතර කැපී පෙනේ.

ශක්තිමත් පදනමක් මතින් ඇරඹුණු කලා මාවත

පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අනුෂ්කා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් 2010 දී ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිය (දෙවන පන්තියේ ගෞරව) ලබා ගත්තාය. පසුව බ්‍රිතාන්‍යයේ Northumbria University (London Campus) වෙතින් 2023 දී මානව සම්පත් කළමනාකරණය සමඟ ව්‍යාපාර පිළිබඳ MSc උපාධිය (Second Class Upper Division ලෙස සඳහන්) ද, AVADO Learning Centre හරහා 2025 දී CIPD Level 5 සුදුසුකම ද ලබා ගත්තාය. ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ සංවර්ධන නිලධාරිනියක ලෙස ප්‍රජාව සමඟ කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් ඇගේ සංවිධාන හා නායකත්ව හැකියාවන් ශක්තිමත් කළේය. 2010 දී සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික ගුරුවරුන් යටතේ සමාජ හා ප්‍රාසාංගික නර්තන පුහුණුව සම්පූර්ණ කළ ඇය, එතැන් සිට නර්තන උපදේශනය හා නිර්මාණකරණයෙහි නිරත වූවාය.

ඇය ආරම්භ කළ Regan Dancing Academy හරහා සමාජ නර්තන, නවීන නර්තන සහ ශාරීරික යෝග්‍යතා නර්තන පුහුණුව ලබාදී ඇත. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඇතුළු වේදිකාවල සංස්කෘතික වැඩසටහන්වලට සහභාගි වූ ඇය, 2010 වසරේ ශ්‍රී සුමංගල විද්‍යාලය ආශ්‍රිත ‘Seventies Dance Show’ වැඩසටහනට ද සම්බන්ධ වූවාය. විවාහ උත්සව සඳහා නර්තන නිර්මාණ කිරීම ද ඇගේ කලා කටයුතුවල කොටසකි.

ශ්‍රී ලංකාවේදී ඇයගේ නර්තන කටයුතු කොළඹ BMICH වේදිකාව, පොදුරාජ්‍ය මණ්ඩලය ආශ්‍රිත වැඩසටහන්, මාධ්‍ය ආශ්‍රිත කලා ඉදිරිපත් කිරීම් සහ සංස්කෘතික උත්සව දක්වා විහිදී තිබේ. නවලිය පුවත්පතේ අනුග්‍රහය ලැබූ වැඩසටහනකට ද ඇය සම්බන්ධ වූ අතර, 2010 වසරේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ පැවැති Seventies Dance Show සඳහා සහභාගි වී ඇත. 2009 වසර පමණ සිට මංගල උත්සව සඳහා විශේෂ නර්තන නිර්මාණ සැකසීම ද ඇයගේ නිර්මාණාත්මක අත්දැකීම්වල කොටසකි.

2010 සිට කළුතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සංගමය ආශ්‍රිතව නර්තන පුහුණු හා නිර්මාණ කටයුතුවලට දායක වූ අනුෂ්කා, වෛද්‍යවරුන්, හෙදියන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ කලා හැකියාවන් වේදිකාවට ගෙන ආ “Dazzling Night” සංගීත හා නර්තන වැඩසටහන සංවිධානයට සහ නර්තන නිර්මාණයට වැදගත් දායකත්වයක් ලබා දුන්නාය. වසර කිහිපයක් පුරා පුහුණු සැසි, පෙරහුරු සහ ප්‍රසංග සම්බන්ධීකරණය කළාය.

බ්‍රිතාන්‍ය වේදිකාවේ නව පරිච්ඡේදයක්

2022 සැප්තැම්බර් 19 වැනිදා එක්සත් රාජධානියට පැමිණීමෙන් පසු අනුෂ්කා සිය කලා ගමනට නව දිශාවක් ලබාදුන්නාය. එරට ශ්‍රී ලාංකික අවුරුදු උත්සව, සංස්කෘතික ප්‍රසංග සහ වේදිකා නිර්මාණවලට නර්තන ශිල්පිනියක ලෙස සහභාගි වූ ඇය, පුහුණුවීම් හා නර්තන නිර්මාණ කටයුතුවලට ද සහාය ලබාදී ඇත.

“තාරාවෝ ඉගිලෙති” වේදිකා නාට්‍යයේ “මඩේ ලගින තාරාවන්” ගීතයට ඉදිරිපත් කළ නර්තනයත්, “සක්විති රාවණ” නිර්මාණයේ “පොඹුලේ මගේ” ගීතය සඳහා කළ නර්තන අංගයත් ඇගේ බ්‍රිතාන්‍ය කලා ගමනේ විශේෂ අවස්ථා වේ.

“මඩේ ලගින තාරාවන්” – “තාරාවෝ ඉගිලෙති” වේදිකා රංගනය
“පොම්බුලේ මගේ පොම්බුලේ” – “සක්විති රාවණ” වේදිකා රංගනය

එක්සත් රාජධානියේ වේදිකාගත වූ “සක්විති රාවණ” නාට්‍ය නිර්මාණයේ “පොම්බුලේ මගේ පොම්බුලේ” ගීතය සඳහා නර්තන නිර්මාණය සහ නර්තන රංගනය යන දෙඅංශයෙන්ම අනුෂ්කා හේවා අබේකෝන්ගේ සිය කලාත්මක දායකත්වය ලබා දී ඇත. ගීතයේ රිද්මය, භාව ප්‍රකාශනය සහ වේදිකා රංගනය මනාව සංකලනය කරමින් ඇය ඉදිරිපත් කළ නර්තනාංගයට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර හා ප්‍රශංසා හිමිව තිබේ. නර්තන නිර්මාණ ශිල්පිනියක මෙන්ම වේදිකා නර්තන ශිල්පිනියක ලෙස ඇය සතු හැකියාවන් විදහා දැක්වූ මෙම රංගනය, ඇයගේ එක්සත් රාජධානියේ කලා දිවියේ සුවිශේෂී අවස්ථාවක් විය.

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් වන විශාරද වීරසිරි මල්වත්ත මහතා සහ අනුෂා මල්වත්ත මහත්මිය සමඟ එක්ව කටයුතු කිරීමටත්, ඔවුන්ගේ මඟපෙන්වීම හා කලා අත්දැකීම් ඇසුරින් සිය නිර්මාණාත්මක හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමටත් අනුෂ්කාට අවස්ථාව ලැබී තිබේ. එම සහයෝගීතාව ඇයගේ බ්‍රිතාන්‍ය කලා ගමනේ වැදගත් අත්දැකීමක්වේ .

සංගීතයත් එක්ක විහිදෙන දක්ෂතා

නර්තනයට අමතරව ගායනයට ද යොමුවූ අනුෂ්කා, ශ්‍රී ලංකන් මියුසික් ඇකඩමියේ සංගීත හා සංස්කෘතික වැඩසටහන්වලට දායක වී ඇත. 2026 වසරේදී එම ඇකඩමිය හරහා භාත්ඛණ්ඩේ ප්‍රථම විභාගය විශිෂ්ට සාමාර්ථයකින් සමත්වූ ඇය, PRSSV හින්දුස්ථානි ගායන දෙවන මට්ටම ද සම්පූර්ණ කර ඇත.

2024 වසරේ සන්බරි-ඔන්-තේම්ස් හි Riverside Arts Centre හි පැවැති “ගී මල් යාය” සංගීත හා සංස්කෘතික වැඩසටහනට සහ වෝල්ටන්-ඔන්-තේම්ස් හි Riverhouse Barns Arts Centre හි සම්භාව්‍ය සංගීත ප්‍රසංගයකට සහාය දැක්වීම ඇගේ තවත් කලා දායකත්වයකි.

2023 සිට ලන්ඩනයේ SARO නර්තන කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ඇය, ප්‍රංශය කේන්ද්‍ර කරගත් නර්තන ශිල්පියකු හා සමකාලීන නර්තන නිර්මාණ ශිල්පියකු වන රොෂාන් ලූටස් මහතා සමඟ ද සහයෝගයෙන් කටයුතු කරයි. එමඟින් එක්සත් රාජධානියේ බහුසංස්කෘතික ප්‍රජාව තුළ ශ්‍රී ලාංකේය නර්තන උරුමය ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇත.

2023 වසරේ සිට අත්තනායක නර්තන ඇකඩමිය සමඟ ඉතා සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යන අනුෂ්කා හේවා අබේකෝන්ගේ මහත්මිය, ප්‍රවීණ නර්තනාචාර්ය අජිත් අත්තනායක මහතා සමඟ එක්ව නර්තන පුහුණු සහායිකාවක ලෙස කටයුතු කරමින් සිය කලාත්මක දැනුම හා අත්දැකීම් බෙදාහදා ගන්නීය. දරුවන්ගේ නර්තන පුහුණුව, පෙරහුරු සහ සංස්කෘතික ප්‍රසංග සූදානම් කිරීම සඳහා ද ඇය සහයෝගය ලබා දෙන්නීය.

මේ වනවිට අනුෂ්කා , තම කලා ගමනේ අත්දැකීම් බෙදාගැනීම සඳහා “Rhythmic Performances With Anu” නමින් නර්තන, සංගීත සහ වේදිකා නිර්මාණ ඇතුළත් නාලිකාවක් ද ඇය පවත්වාගෙන යයි. ඇගේ උත්සාහයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය කලාවට බ්‍රිතාන්‍යයේ වැඩි ඉඩක් ලබාදෙමින්, ඊළඟ පරපුරට තම සංස්කෘතික උරුමය ඉගෙනගැනීමට සහ අගය කිරීමට අවස්ථා උදාකර දීමයි.

අනාගත අපේක්ෂාව: පිළිගත් නර්තන සුදුසුකමක්

එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකේය සංස්කෘතික නර්තනය සඳහා ක්‍රමවත් අධ්‍යාපන හා සුදුසුකම් මාර්ගයක් ගොඩනැගීම ඇගේ දිගුකාලීන අරමුණකි. මට්ටම් අනුව ඉගෙනුම් ප්‍රතිඵල, ප්‍රායෝගික ඇගයීම් සහ නිසි ප්‍රමිතීන් සහිත පාඨමාලාවක් සකස් කර, බ්‍රිතාන්‍යයේ පිළිගත් සුදුසුකම් ප්‍රදාන ආයතනයක් සමඟ කටයුතු කිරීමේ හැකියාව සොයා බැලීමට ඇය අපේක්ෂා කරයි. විශේෂයෙන් Level 3 මට්ටමේ සුදුසුකමකට, අවශ්‍ය පිළිගැනීම් සහ කොන්දේසි සපුරාලන්නේ නම්, UCAS ලකුණු හිමිවිය හැකි මාර්ගයක් පිළිබඳව ද ඇය උනන්දුවක් දක්වයි. මෙය දැනට ක්‍රියාත්මක හෝ අනුමත පාඨමාලාවක් නොව, ඇගේ අනාගත සැලසුමකි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඇය අප සමග මෙසේ සඳහන් කර සිටියාය .

“ශ්‍රී ලාංකේය නර්තන හා සංස්කෘතික උරුමය එක්සත් රාජධානියේ පරපුරෙන් පරපුරට පවත්වාගෙන යාම, නර්තන නිර්මාණය, නර්තනය, රංගනය සහ ගායනය අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ දරුවන්ට ක්‍රමවත් පුහුණු අවස්ථා පුළුල් කිරීම මෙම යෝජනාවේ මූලික දැක්මයි .

 ආරම්භක, අතරමැදි සහ උසස් මට්ටම්වලට අදාළ ඉගෙනුම් ප්‍රතිඵල, ප්‍රායෝගික නර්තන ඇගයීම්, වේදිකා ඉදිරිපත් කිරීම් සහ ප්‍රගති සටහන් ඇතුළත් වැඩසටහනක් ගවේෂණය කිරීමට අපේක්ෂිතයි . . මෙය තවමත් යෝජනා අදියරේ පවතින ,දෙයක් නමුත් මෙය ප්‍රයෝගික මට්ටමකට ගෙනඒමට මා හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටිනවා .

මෙහි අරමුණු වන්නේ , ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික හා සංස්කෘතික නර්තන ශිල්පය ඉගැන්වීම සඳහා පැහැදිලි ඉගෙනුම් මට්ටම් සකස් කිරීම; වේදිකා රංගන, නර්තන නිර්මාණ හා සංගීත අත්දැකීම් ඔස්සේ සිසුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම; සහ ප්‍රජා සංස්කෘතික උත්සව හරහා කලා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථා සැලසීමයි . “