ඉන්දීය ගුවන්යානයේ එන්ජිම “ඕෆ්” කලේ කව්ද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අහමදාබාද්හිදී සිදු වූ එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර පිළිබඳ මූලික විමර්ශන වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර, එයින් කම්පනය දනවන කරුණු රැසක් අනාවරණය වී තිබේ. ගුවන් යානය ගුවන් ගත වී තත්පර කිහිපයකින් අනතුරට පත් වීමට ප්‍රධානතම හේතුවක් ලෙස එහි එන්ජින් දෙකම එකවර ක්‍රියා විරහිත වීම මෙම ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) වාර්තාව මගින් පෙන්වා දී ඇත. යානය ගුවන් ගත වීම සඳහා අවශ්‍ය උසට ළඟා වී තිබියදීත්, එහි එන්ජින් දෙකම ‘ක්‍රියාත්මක’ (RUN) තත්ත්වයේ සිට ‘විසන්ධි කළ’ (CUTOFF) තත්ත්වයට පත් වීම විමතියට කරුණක් වී තිබේ.

ඉන්ධන ගමන් කිරීමට අවශ්‍යව තිබූ එම ස්විච්චය කිසිවෙකු ඕෆ් කර තිබූ බවත් අනතුරට පෙර තත්පර කිහිපයේ ඕෆ් කිරීම කළේ කවුද යන්න ගැන සංවාදයක් නියමුවන් අතර ඇතිවූ බවත් පටිගතවූ දත්ත අනුව හෙළිව ඇත.

මෙම අනතුර සිදු වූයේ 2025 ජූනි 12 වන දින ඉන්දීය සම්මත වේලාවෙන් පස්වරු 1:39 ට ය. අහමදාබාද් සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා සමාගමට අයත් බෝයිං 787-8 වර්ගයේ (VT-ANB) මෙම යානය, ගුවන් පථයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි බී.ජේ. වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාරයක ගැටී ඇත.

යානයේ සුන්බුන් අඩි 1000ක් සහ 4000ක් අතර ප්‍රදේශයක පැතිරී තිබී හමු විය.

අනතුරින් ගුවන් මගීන් 229 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු සහ යානය කඩා වැටුණු ස්ථානයේ බිම සිටි පුද්ගලයන් 19 දෙනෙකු ඇතුළුව මුළු පුද්ගලයන් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. එක් මගියෙකු පමණක් බරපතල තුවාල ලබා දිවි ගලවා ගෙන තිබේ. යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ අතර, අනතුර හේතුවෙන් බිම පිහිටි ගොඩනැගිලි පහකට ද අධික හානි සිදු වී ඇත.

ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) විසින් මෙම විමර්ශනය මෙහෙයවනු ලබන අතර, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, පෘතුගාලය සහ කැනඩාව යන රටවල විශේෂඥයින්ගේ සහාය ද ඊට හිමි වී තිබේ. අනතුරට පත් යානය 2012 වසරේ නිෂ්පාදනය කරන ලද්දක් වන අතර, එහි නඩත්තුව සම්බන්ධයෙන් විශාල දෝෂයක් වාර්තා වී නොතිබුණි. ගුවන් ගමන ආරම්භ කරන අවස්ථාවේ යානයේ මගීන් 230ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු සිට ඇති අතර, යානයේ බර නියමිත සීමාව තුළ පැවති බවත්, කිසිදු අන්තරායකාරී භාණ්ඩයක් ප්‍රවාහනය නොකළ බවත් තහවුරු වී ඇත.

යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සාර්ථකව පරීක්ෂා කර ඇති අතර, අනතුර සිදු වූ කාලය ද ඇතුළුව පැය 46ක පියාසැරි දත්ත සහ පැය 2ක නියමු කුටියේ හඬ පටයක් ලබා ගැනීමට හැකි වී තිබේ. අනෙක් කළු පෙට්ටියට දැඩි හානි සිදු වී ඇති බැවින් එයින් දත්ත ලබා ගැනීමට නොහැකි වී ඇත. වාර්තාවට අනුව, ගුවන් ගත වීමට 08:07 UTC වේලාවට අවසර ලැබී ඇති අතර, මිනිත්තු දෙකකට පසු 08:09 UTC වේලාවේදී නියමුවා විසින් “MAYDAY” හදිසි ආපදා සංඥාව නිකුත් කර ඇත.

අනතුරට නිශ්චිත හේතුව ලෙස වාර්තාව දක්වා ඇත්තේ, ගුවන් ගත වූ විගසම එන්ජින් දෙකටම ඉන්ධන සැපයීම නතර කරන ස්විච (Fuel Cutoff Switch) ක්‍රියා විරහිත වී තිබීමයි. නියමු කුටියේ හඬ පටයට අනුව, නියමු සුමිත් සභර්වාල් සහ සහය නියමු ක්ලයිව් කුන්දර් අතර මේ සම්බන්ධයෙන් සංවාදයක් ඇති වී තිබේ. එහිදී එක් නියමුවෙකු ‘මෙය ක්‍රියා විරහිත කළේ කවුදැ’යි විමසූ අතර, අනෙක් නියමුවා ‘තමන් එය නොකළ’ බව පවසා ඇත. ඉන්පසුව ඔවුන් එන්ජින් යළි පණ ගැන්වීමට උත්සාහ කළ ද, එක් එන්ජිමක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත. මෙම අවස්ථාවේදී යානයේ හදිසි බලශක්ති පද්ධතිය (RAT) ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී තිබේ.