යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ කැනීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 147කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන ඇති අතර, මිනිස් සිරුරු 140කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව කැනීම් නිළධාරීන් පවසති.
චෙම්මනි සිව් වන අදියරේ කැණීම් කටයුතු අගෝස්තු 06 වන දා තාවකාලිකව නවතා දැමූ අතර, කැණීම්වල මීළඟ අදියර අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත බව ද කැණීම් නිලධාරීහු පැවසූහ.

ස්කෑන් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම
අස්ථි කොටස් හමුවූ ස්ථානයට ආසන්න ස්ථානවල ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීම අගෝස්තු 04 වන දා හා අගෝස්තු 05 වන දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් සිදුකළ අතර, සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තාව අද(14) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ විශේෂඥ කණ්ඩායම කටයුතු කර තිබිණ.
මෙහි මේ දක්වා හමුවූ අස්ථි කොටස් හා අනෙකුත් ද්‍රව්‍ය අධිකරණ නියෝග යටතේ යාපනය මහ රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා පිරනවන් භාරයේ තබා ඇත.
චෙම්මනි කැණීම්
2025 පෙබරවාරි 20
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු විය.

2025 මැයි 15

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පළමු අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.
2025 මැයි 17
දිනය අවසන් වන විට මිනිස් හිස් කබල් දෙකක කොටස් මතු කර ගැනීමට හැකි වූ අතර, වර්ෂාව හේතුවෙන් පළමු අදියරේ කැණීම් කටයුතු තාවකාලිව නවතා දැමිණි.

2025 ජූනි 02
සුසාන භූමියේ දෙවන අදියරේ කැණීම් ආරම්භ විය.

2025 ජූනි 04
විශේෂඥ කමිටුව සිදු කළ කැණීම්වලින් තවත් අස්ථි කොටස් කිහිපයක් මතු කර ගැනිණි.

2025 ජූනි 07
දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන් කළ අතර, මිනිස් සිරුරු 19කට අයත් අස්ථි කොටස් හමුවිය.

2025 ජූනි 23
මිනිස් අස්ථි කොටස් සොයා ගැනීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කරමින් උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන රැසක් තෙදින විරෝධතාවක් ආරම්භ කළේ ය.

2025 ජූනි 25
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මෙම සුසාන භුමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

2025 ජූනි 26
තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

2025 ජූනි 28
– කාන්තාවකගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් මතු කර ගත් අතර එම කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමු විය.
– පාසල් බෑගයක් සහ ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අයත් බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමුවිය.
– රබර් බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළනඳින වළලු යුගලක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක් ද තිබී හමුවිය.

2025 ජූලි 10
තුන්වන අදියරේ කැණීම් කටයුතු අවසන් වන විට මිනිස් සිරුරු 65ක අදාළ අස්ථි කොටස් මතු කර ගෙන තිබිණි.

2025 ජූලි 17
චෙම්මනි සුසාන භූමියෙන් මතු වන අස්ථි කොටස් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කොළඹදී විරෝධතාවක් පැවැත්විණි.

2025 ජූලි 21
සිව්වන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

2025 ජූලි 23
මිනිස් සිරුරු 85කට අදාළ අස්ථි කොටස් හමු වූ අතර ඇදුම් කොටසක්, කුඩා බෝතලයක් හා දරුවන්ගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් ද හමු වූ බව කැණීම් කටයුතු නිරීක්ෂණය කරන අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. නිරංජන් පැවසුවේ ය.

2025 ජූලි 24
කැණීම්වලින් තවත් මිනිස් සිරුරු තුනකට අදාළ අස්ථි කොටස් හමු වී ඇති අතර ඒ අනුව මේ වන විට මිනිස් සිරුරු 88කට අදාළ අස්ථි කොටස් හමු වී තිබේ.

2025 ජූලි 28
මිනිස් සිරුරු සංඛ්‍යාව 104ක් දක්වා ඉහළට.

2025 අගෝස්තු 3
මිනිස් සිරුරු සංඛ්‍යාව 130ක් දක්වා ඉහළට. අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව හමුවූ මිනිස් අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය අගෝස්තු 5 වන දා හදුනා ගැනීම සඳහා මහජන ප්‍රදර්ශනයට තැබීමට අවසර ලැබීම.

2025 අගෝස්තු 4
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් විසින් චෙම්මනි මිනිස් අස්ථි කොටස් හමුවූ භූමිය ස්කෑන් පරීක්ෂාවට ලක් කෙරේ.

2025 අගෝස්තු 6
කැණීම් තාවකාලිකව නතර කෙරුණු අතර කැණීම් අවසන් වන විට මිනිස් සිරුරු 147කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි. මීළඟ අදියර අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත ය.

2025 අගෝස්තු 14
කැණීම් කටයුතු අවම වශයෙන් තවත් සති 8ක පමණ කාලයක් සිදුකළ යුතු බවට විශේෂඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටීම සහ ස්කෑන් වාර්තාව හා කැණීම් කටයුතු පිළිබඳ විමර්ශන වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම

චෙම්මනි සුසාන භූමිය ආසන්නේ අස්ථි කොටස් මතුවීම
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2025 පෙබරවාරි මස 20 වන දා සංවර්ධන කටයුතුවල නිරත වූ පිරිසක් දැක තිබිණි.
අදාළ අස්ථි කොටස් දැකීමෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් කටයුතු කර තිබිණ.
පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකර ගැනීමට නොහැකි වූ අතර, වර්ෂා සමය නිමා වීමෙන් අනතුරුව යාපනය පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු කිරීමට නියෝග ලබා තිබේ.
කැණීම් ස්ථානය සම්බන්ධයෙන් යාපනය පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණ විසින් අදාළ ස්ථානය විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ කැණීම් සිදුකළ යුතු බවට නියෝග ලබා දුන් බව පොලිසිය සඳහන් කළේ ය.

අස්ථි කොටස් සහ අස්ථි කොටස් නොවන අනෙකුත් ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනයට
කැණීම් කටයුතු නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පැවසුවේ, හමුවූ භාණ්ඩ අගෝස්තු 05 වන දා සවස 2.00 සිට 5.00 දක්වා මහජන ප්‍රදර්ශනය යොමු කළ බව ය.
පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට යොමු කළ භාණ්ඩ පරීක්ෂා කිරීමට සහභාගි වූ බව ද නිතීඥවරිය පැවසුවා ය.
භාණ්ඩ පරීක්ෂා කිරීමට එක්වූ කිසිවෙකු අදාළ භාණ්ඩ හඳුනා ගැනීමට සමත් නොවිණි.
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙහෙයවීම යටතේ මෙම ස්ථානයෙන් හමුවූ අස්ථි නොවන භාණ්ඩ 45ක් හඳුනා ගැනීම වෙනුවෙන් ප්‍රදර්ශනය කළ බව ද නීතිඥවරිය සඳහන් කළා ය.
යම් පුද්ගලයෙකු මහජන ප්‍රදර්ශනය හරහා කිසියම් භාණ්ඩයක් හඳුනා ගැනීම සිදුකළහොත් ඒ හරහා මෙම ස්ථානය සම්බන්ධයෙන් යම් අනාවරණයක් සිදුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අපේක්ෂා කළ බව ද ඥානරාජා පැවසුවා ය.
මෙතෙක් හමුවූ භාණ්ඩ මොනවා ද?
මෙම කැණීම්වලදී මේ දක්වා භාණ්ඩ කිහිපයක් හමුවී තිබේ. ඒ අතර, රබර්වලින් සකස් කරන ලද බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළඳින වළලු දෙකක්, කුඩා දරුවන්ගේ කිරි බෝතලයක්, පාවහන් කොටසක්, ඇඳුම් කොටස් කිහිපයක් හා තවත් ද්‍රව්‍ය කිහිපයක් වෙන් කරගෙන ඇති බව නීතිඥ වී.කේ. නිරංජන් පැවසීය.
