රජයේ ආදා­යම 27%කින් ඉහ­ළට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර කිහි­ප­ය­කට පසු මෙරට වාහන ආන­යන වෙළෙ­ඳ­පොළ යළි විවෘත කිරීම සහ ඒ ආශ්‍රි­තව එකතු වූ බදු ආදා­යම හේතු­වෙන් 2026 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකා රජයේ සමස්ත ආදා­යම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මුදල් අමා­ත්‍යාං­ශයේ නව­තම දත්ත වාර්තා අනා­ව­ර­ණය කරයි.

මුදල් අමා­ත්‍යාංශ වාර්තා­ව­ලට අනුව, 2026 ජන­වාරි සිට ජූනි දක්වා කාල­සී­මාව තුළ රජයේ සමස්ත ආදා­යම සහ ප්‍රදාන (grants) ප්‍රමා­ණය පසු­ගිය වසරේ (2025) අනු­රූප කාල­යට සාපේ­ක්ෂව 27.1%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මුල් මාස හයේ සමස්ත ආදා­යම රුපි­යල් ට්‍රිලි­යන 2.956ක් ලෙස සට­හන්ව ඇති අතර, මෙය 2026 වසර සඳහා රජය අපේක්ෂා කළ රුපි­යල් ට්‍රිලි­යන 5.3ක මුළු වාර්ෂික ආදා­යම් ඉල­ක්ක­යෙන් 55.8%ක ප්‍රග­ති­යකි.

ප්‍රදාන හැර රජයේ ආදා­යම පම­ණක් සලකා බැලී­මේදී, එය පසු­ගිය වසරේ පළමු මාස හයේ පැවැති රුපි­යල් බිලි­යන 2,321.7 සිට රුපි­යල් බිලි­යන 2,954.2 දක්වා 27%ක සැල­කිය යුතු වර්ධ­න­යක් අත්පත් කර­ගෙන ඇත.

රේගු ආදා­යම් ඉහළ යෑමට ප්‍රධා­න­තම හේතුව වී ඇත්තේ මෝටර් රථ ආන­ය­න­යෙන් ලැබුණු ආදා­ය­මයි.

ඊට අම­ත­රව රේගුව මඟින් එකතු කරන ලද සමස්ත සුරා­බදු ආදා­යම 46%කින් ඉහළ ගොස් රුපි­යල් බිලි­යන 424.2ක් ලෙස වාර්තා වේ.

දත්ත පෙන්වා දෙන පරිදි, 2025 වසරේ මුල් භාග­යේදී රුපි­යල් බිලි­යන 129.1ක් වූ මෝටර් රථ ආන­යන තීරු බදු, සුරා­බදු ආදා­යම, 2026 වසරේ මුල් භාගය වන විට දෙගු­ණ­ය­ක­ටත් වඩා වැඩි වෙමින් රුපි­යල් බිලි­යන 266.4ක් දක්වා වර්ධ­නය වී ඇත. මෙය රුපි­යල් බිලි­යන 137.2ක ශීඝ්‍ර ඉහළ යෑමකි.

මීට අම­ත­රව, ආන­ය­නික භාණ්ඩ­ව­ලින් අය කරන වැට් (VAT) බදු ආදා­යම ද 25%කින් ඉහළ ගොස් රුපි­යල් බිලි­යන 443.7ක් ලෙස සට­හන්ව තිබේ.

මෙරට සමස්ත බදු ව්‍යුහය දෙස බැලී­මේදී භාණ්ඩ හා සේවා මත පනවා ඇති වක්‍ර බදු තව­දු­ර­ටත් ආධි­ප­ත්‍යය දරන අතර, මුල් මාස හයේ මුළු ආදා­ය­මෙන් 60%ක්ම ලැබී ඇත්තේ මෙම බදු මඟිනි. ඊට අම­ත­රව ආදා­යම් බදු මඟින් 19%ක දාය­ක­ත්ව­යක් සහ විදේශ වෙ‍ෙළඳ බදු මඟින් 13%ක දාය­ක­ත්ව­යක් ලැබී තිබේ.

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව විසින් රැස්ක­රන ලද රුපි­යල් ට්‍රිලි­යන 1.248ක සමස්ත බදු ආදා­යම තුළ, ආදා­යම් බදු 16%කින් ඉහළ ගොස් රුපි­යල් බිලි­යන 568.4ක් ලෙස සට­හන් වන අතර, දේශීය වැට් බදු ආදා­යම 26%කින් වර්ධ­නය වී ඇත.

රටේ සමස්ත වැට් (VAT) බදු ආදා­යම (දේශීය හා ආන­ය­නික වැට් ඇතු­ළුව) රුපි­යල් බිලි­යන 987.6ක් දක්වා 25%කින් ඉහළ ගොස් ඇති අතර, එය රජයේ තනි විශා­ල­තම ආදා­යම් ප්‍රභ­වය බවට පත්වෙ­මින් වාර්ෂික ඉල­ක්ක­යෙන් 55%ක් ඉක්මවා සපුරා තිබේ.

වසර කිහි­ප­යක් තිස්සේ පනවා තිබූ වාහන ආන­යන සීමා­වන් ලිහිල් කිරී­මත් සමඟ රජයේ මූල්‍ය ශක්තිය සැල­කිය යුතු ලෙස ශක්ති­මත් වී ඇත. කෙසේ වෙතත්, ඉදිරි කාල­සී­මාව තුළ රටේ ආන­යන ඉල්ලුමේ සිදු­වන වෙන­ස්කම් සහ වෙ‍ෙළ­ඳ­පොළ හැසි­රීම් මත පද­නම්ව මෙම ආදා­යම් වර්ධ­නයේ දිගු­කා­ලීන ස්ථාව­ර­ත්වය තීර­ණය වනු ඇත.