“බ්ලූ ටූත්” නිසා ඒඩ්ස් රෝගයේ ව්‍යාප්තිය ඉහළට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන HIV වසංගත තත්ත්වයකට මුහුණ දීම හේතුවෙන් ෆීජි රාජ්‍යය පසුගිය සතියේදී ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

ලොව පුරා ප්‍රගතියක් අත්කරගෙන තිබුණ ද, ඇතැම් කලාපවල HIV සහ ඒඩ්ස් තවමත් බරපතළ තර්ජනයක්ව පවතින බවත්, රෝග ව්‍යාප්තිය වේගයෙන් සිදුවිය හැකි අතර ඒවා පාලනය කිරීම අපහසු විය හැකි බවත් මෙයින් පැහැදිලිව සිහිපත් කරයි.

ඇෆ්ඝනිස්ථානය, ශ්‍රී ලංකාව, නේපාලය, කෙන්යාව, සුඩානය, බ්‍රසීලය, පකිස්ථානය, යේමනය, ඊජිප්තුව, සෙනගාලය සහ පිලිපීනය ඇතුළු රටවල් 21ක සහ කලාප තුනක නව HIV ආසාදන සංඛ්‍යාව 2025 වසරේදී ඉහළ ගිය බව UNAids ආයතනය පවසයි.

පැසිෆික් සාගරයේ පිහිටි ෆීජි දූපත් රාජ්‍යයේ වැඩිහිටියන්ගෙන් ආසන්න වශයෙන් 60 දෙනෙකුගෙන් එක් අයෙක් මේ වන විට HIV ආසාදිතව ජීවත් වෙති. මීට වසර පහකට පෙර එම අනුපාතය පැවතියේ වැඩිහිටියන් 167 දෙනෙකුගෙන් එක් අයෙකුට ලෙස ය. ඒඩ්ස් රෝගය මර්දනය කිරීමේ වගකීම දරන එක්සත් ජාතීන්ගේ ආයතනය වන UNAidsහි දත්තවලට අනුව, ලොව පුරා ආසන්න වශයෙන් මිලියන 41 ක ජනතාවක් HIV ආසාදිතව ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇත.

ඇතැම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර ඇති “බ්ලූටූතිං”ලෙස හැඳින්වෙන, එන්නත් කටු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය මෙම නවතම අර්බුදය තවදුරටත් උග්‍ර කරයි.

මෙහිදී සිදුවන්නේ දැනටමත් මත්ද්‍රව්‍ය භාවිත කළ අයෙකුගේ රුධිරය ලබාගෙන, නැවත “ඉහළ” මත්බවක් ලබා ගැනීම සඳහා එය වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයට එන්නත් කිරීම යි. නහර මාර්ගයෙන් ලබා ගන්නා මත්ද්‍රව්‍යවල බලපෑම වැඩි වේලාවක් පවත්වා ගැනීම මුදල් ඉතිරි කර ගැනීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෝ දකිති.

ලෙසෝතෝ, සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු රටවල ද මෙම පුරුද්ද දක්නට ලැබේ.

මෙම ක්‍රියාව කොතරම් දුරට ව්‍යාප්ත වී ඇත් ද යන්න සහ, ෆීජි හි පවතින HIV අර්බුදය උග්‍ර කිරීමට එය කෙතරම් දුරට බලපා ඇත්ද යන්න පිළිබඳව විවිධ මත පවතියි. කෙසේ වෙතත්, මෙය සැබෑ ගැටලුවක් බව පවසන ප්‍රජා සේවකයින්, ලොව පුරා රජයන් සහ සෞඛ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස යි.

“අපි ඇත්තට ම යමක් කිරීමට පෙර අපට තවත් කොපමණ ජීවිත ප්‍රමාණයක් අහිමි වෙන්න තිබෙනවා ද?,” යනුවෙන් Drug Free Fiji නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කලේසි වොලටාබු පවසයි.

රුධිරය ‘බ්ලූටූත් කිරීම’ මෙතරම් අවදානම් සහගත ඇයි?

HIV යනු රුධිරය මගින් බෝවන රෝගයක් නිසා, වෛරසය අඩංගු රුධිරය හුවමාරු වීම හේතුවෙන්, එන්නත් කටු හවුලේ භාවිතා කරන පුද්ගලයින්ට HIV ආසාදනය වීමේ අවදානමක් ඇති විය හැකි ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම ක්‍රියාමාර්ගය හෙපටයිටිස් B සහ C ඇතුළු අනෙකුත් ආසාදන සහ බරපතළ බැක්ටීරියා ආසාදන සම්ප්‍රේෂණය කිරීමේ ”අතිශය ඉහළ අවදානමක්” නිර්මාණය කරන බව යි.

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට විෂබීජවලින් තොර එන්නත්කරණ උපකරණ ලබාගැනීම අපහසු විය හැකි ෆීජි රාජ්‍යය තුළ, එන්නත් කටු හුවමාරු කර ගැනීම දැනටමත් සුලභ ක්‍රියාවකි. නමුත් “බ්ලූටූතිං” ක්‍රමයේ මතුවීමෙන් ඇඟවෙන්නේ, මෙම අනතුරුදායක ක්‍රියාව පිටුපස ඇති ප්‍රධාන සාධකයක් වන්නේ දරිද්‍රතාවය බව යි.

එය සිදු වන බව ඇය පළමුවරට දුටු විට ඇය කම්පනයට පත් වූ බව වොලටාබු පවසයි.

“එම එන්නත ලබා ගැනීමට සූදානමින් පුද්ගලයන් පස් දෙනෙකු හෝ හය දෙනෙකු පමණ එහි රැඳී සිටියා,” ඇය බීබීසී ලෝක සේවයට පවසයි.

“එතකොට ඔවුන්ට තවත් පස් දෙනෙකුට ආසාදනය කරන්න පුළුවන්. ඒ අනුව පස් දෙනාගෙන් දැනටමත් පුද්ගලයන් 25 සිට 30 දක්වා පිරිසක් ඉන්නවා. ඒක කොයිතරම් ලේසියෙන් වෙනවා ද?”

2024 වසරේදී ෆීජි රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, එරට තුළ HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන සාධකයක් ලෙස මෙම ක්‍රියාවලිය හඳුනා ගන්නා ලදී. ජනවාරි මාසයේදී, HIV ව්‍යාප්තිය “ජාතික අර්බුදයක්” ලෙස නම් කළ එම අමාත්‍යාංශය, ඊට ප්‍රතිචාර දැක්වීමේ පියවරක් ලෙස සිරින්ජ සහ කටු වැඩසටහනක් හඳුන්වා දෙන බව ප්‍රකාශ කළේ ය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදු කළ කඩිනම් තක්සේරුවකින් අනතුරුව, ෆීජි රාජ්‍යය තුළ ‘බ්ලූටූතිං’ පුළුල් ව්‍යාප්තියක් තිබූ බවට යෝජනා කිරීමට වූ සාක්ෂි අල්ප බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ය.

එම සංවිධානය පුද්ගලයින් 56 දෙනෙකු සමග සාකච්ඡා කර තිබිණි. පුද්ගලයින් දෙදෙනෙකු පමණක් ‘බ්ලූටූතිං” සිදු කළ බව පවසා තිබූ අතර, එම වාර්තාවේ සඳහන් වූයේ තවත් හතරදෙනෙකු එය සිදුවන ආකාරය සෘජුව ම නිරීක්ෂණය කර තිබූ බව යි.

ඇය විසින්ම එය දකින තුරු ඇය ද යමෙකු සැබවින් ම එය සිදු කරමින් සිටින බව විශ්වාස කිරීමට අකැමති වූ බව වොලටාබු පවසයි.

නහර හරහා මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පවතින සමාජ අපවාදය සහ ලැජ්ජාව හේතුවෙන්, ෆීජි රජය මෙම ගැටලුවට විසඳුම් සෙවීමට මැලිබවක් දක්වා ඇති බව ද ඇය විශ්වාස කරයි.

“මේ සුනාමිය එන බව මම දැනගෙන හිටියා,” ඇය පවසයි. “ඔබට අවශ්‍ය වුණේ අපි දැන් ඉන්න තැනින් ඈත් වෙලා ඉන්න යි.”

ලොව වටා පවතින HIV ව්‍යාප්තිය

HIV යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවලට හානි කරන වෛරසයක් වන අතර එදිනෙදා ආසාදන හා රෝග වලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව දුර්වල කරයි.

එය ශරීර තරල මගින් සම්ප්‍රේෂණය වේ. බොහෝ විට අනාරක්ෂිත ලිංගික සංසර්ගයේදී මෙන් ම කැපුම් සහ හුවමාරු කර ගත් එන්නත් කටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය එන්නත් කිරීම හරහා ද මෙහි පැතිරීම සිදුවේ. ගර්භණී සමයේදී, දරු ප්‍රසූතිය සහ මව්කිරි දීම අතරතුර මවගෙන් දරුවාට ද එය සම්ප්‍රේෂණය විය හැකි ය.

HIV වෛරසය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැඩි ලෙස හානි වූ පසු, ජීවිතයට තර්ජනයක් විය හැකි ආසාදන සහ රෝග ගණනාවක් ඇති වූ විට ඒඩ්ස් (මානව ප්‍රතිශක්තිකරණ ඌණතා සින්ඩ්‍රෝමය) හට ගනියි.

ප්‍රතිකාර ක්‍රමවල ප්‍රගතිය, පසුගිය දශක කිහිපය තුළ HIV රෝග විනිශ්චය කරන ලද පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2025 වසරේදී ගෝලීය වශයෙන් HIV ආශ්‍රිත හේතූන් නිසා පුද්ගලයින් 570,000 ක් පමණ මිය ගිය අතර, එය 2004 දී පැවති උච්ඡතම අවස්ථාවට සාපේක්ෂව 73% කින් අඩු ය.

දැනට නිර්දේශිත ප්‍රතිකාරයට ප්‍රති-රෙට්‍රොවයිරස් ප්‍රතිකාරය (ART) ඇතුළත් වන අතර, එමගින් සාමාන්‍යයෙන් වෛරස් ප්‍රමාණය හඳුනාගත නොහැකි මට්ටමකට අඩු කිරීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම සහ වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීම ද වළක්වයි.

කෙසේ වෙතත්, පසුගිය වසරේ UNAidහි ප්‍රධානී විනී බියන්යිමා පැවසුවේ විදේශ ආධාර ලබා දීම අත්හිටුවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් තීරණය, සෑම දිනක ම තවත් නව HIV ආසාදන 2,000ක් ඇති වීමට සහ සහ ඉදිරි වසර හතර තුළ තවත් මිලියන හයකට වඩා මිය යාමට හේතුවනු ඇති බව යි.

‘බ්ලූටූතින්’ සිදුකෙරෙන වෙනත් රටවල් මොනවා ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලෙසෝතෝ රාජ්‍යය ලොව දෙවන ඉහළම HIV ව්‍යාප්ති අනුපාතය සහිත රට වන අතර, එරට කාන්තාවන් අතර මරණයට ප්‍රධානතම හේතුව ද එය යි.

“බ්ලූටූත් කිරීම” මැඩපැවැත්වීමට උත්සාහ කරන එක් සංවිධානයක් වන්නේ Mokhosi oa Mangoana හෙවත් “මවකගේ විලාපයක්” සංවිධානය යි. මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ගැටලු ඇති දරුවන් සිටින මෙම කාන්තා කණ්ඩායම තම අත්දැකීම් බෙදා ගනිති.

දකුණු අප්‍රිකාවේ මෙවැනි තත්ත්වයක් පවතින බව ඔවුන් අසා තිබුණද, 2024 වසරේදී ඔවුන්ට වැටහුණේ එය තමන්ට වඩාත් සමීප ප්‍රදේශවල ද සිදුවෙමින් පවතින බව යි. මෙය සිදුවෙමින් පැවතියේ “ට්‍රැප් හවුස්” ලෙස හැඳින්වෙන ස්ථානවල ය. එනම්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ කණ්ඩායම්වලට මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට, විකිණීමට සහ භාවිත කිරීමට හැකි වන පරිදි යොදා ගැනෙන අත්හැර දමන ලද හෝ පෞද්ගලික ගොඩනැගිලිවල ය.

පොන්ටෝ ටුමිසිගේ දියණිය ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් භාවිත කිරීමට පෙර සියලු විෂයයන් සඳහා ඉහළම ශ්‍රේණි (A සාමාර්ථ) ලබාගත් සිසුවියක වූවාය .

ඇය පවසන්නේ මිනිසුන්ට කුඩා මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් බෙදා ගැනීමට අවශ්‍ය වූ විට ”බ්ලූටූතින්” සිදුවන බව යි.

“තමන්ගේ රුධිර කාණ්ඩවල ගැළපීම ගැන ඔවුන් දැන සිටියත් නැතත්, නැතහොත් එම රුධිරය තුළ තමන් රැගෙන යන රෝග පිළිබඳව දැන සිටියත් නැතත්, ඒ කාරණය වැදගත් නෑ,” ඇය පවසයි.

රුධිරය හුවමාරු කර ගැනීමෙන් පසු කිසිවෙකුටත් ජීවත් විය නොහැකි යැයි විශ්වාස කරන බැවින්, එවැනි ක්‍රියාවක් නොපවතින බව සෞඛ්‍ය සේවකයින් තමාට පැවසූ බව ටුමිසි පවසයි.

ටැන්සානියාවේ මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා පුද්ගලයින් අතර “ෆ්ලෑෂ්බ්ලඩ්” ඇතුළු විවිධ නම් යටතේ, සෘජුව ම රුධිරය හුවමාරු කර ගැනීමේ මීට සමාන ක්‍රම පිළිබඳව වාර්තා වී ඇති බව UNAidsහි කලාපීය අධ්‍යක්ෂ ඊමන් මර්ෆි පවසයි. නමුත් එය “පුළුල් ගෝලීය ප්‍රවණතාවක්” නොවන බව ද ඔහු සඳහන් කළේ ය.

නමුත් ටුමිසි කනස්සල්ලට පත්වන්නේ, මත්ද්‍රව්‍ය ලබා ගැනීමේ නව සහ එතරම් ප්‍රචලිත නොවන ක්‍රම වෙනත් රටවලදී අනාවරණ නොවිය හැකි බවට යි.

අනිසි ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ බලපෑමට සෘජුව ම මුහුණ දෙන අයට ඇය අනතුරු අඟවන්නේ, ඔවුන් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතු බවත්, එහි මූලික අනතුරු ඇඟවීමේ ලක්ෂණ පිළිබඳව දැනුවත් විය යුතු බවත් ය.

”ඔබ දෙමාපියෙකු නම්, ලෝකයේ කුමන ප්‍රදේශයක සිටියත් ඔබ මනුෂ්‍යයෙක්. එයින් අදහස් වන්නේ ඔබ අවදානමක සිටින බව. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් සමග, ඕනෑ ම දෙයක් සිදුවෙන්න පුළුවන්.”